Wednesday, August 20, 2014

හ්ම්ම් අද ඔයා එක්ක ලොකූ හිනාවක් දැම්මා නේ.. කොහොමද අපේ ටෙලිපති පාර..මාත් ලෙක්චර් හෝල් එකේ ඉදන් ආවා ඔයත් හොස්පිටල් එකෙන් එලියට ආවෙ ඒවෙලාවෙමයි... හ්ම්ම්....
අනිත් එක ඔයා මගේ ලගින් ගියා වචනයක්වත් කතා කලේ නෑ..,අඩුම ගානේ බලලා හිනා වුනේවත් නෑ.. කමක් නෑ ඉතින් ඔයා එහෙම කරන්න ඕනමයි කියලා නීතියක් නෑනේ..
මොනවා උනත් ඇස් දෙක පිරෙන්නම මගේ සුදු අයියව මන් බලාගත්තනේ..ඒ ඇති හොදටම මට..

Tuesday, August 19, 2014

අලුත් ෂර්ට් එකක් ඇදන් ඔයා ඇවිත් හිටියෙ අද.. නිල් පාට ලස්සනයි..ඒකත් අදුරු පාටක්..මාත් ආසයි අදුරු පාටට.. අපේ අයත් මට කියනවා ඔයයි අයියයි දෙන්නම මහා අදුරු පාටවල් අදින්නෙ කියලා.. ඉතින් ඒ අපි දෙන්නනේ නේද අයියේ... එයාලා නොදන්නවා උනාට අපි දෙන්නා එහෙමයි කියලා අපි දන්නවනේ.....,
ඒත් සමහරවිට ඔයා දන්නෙත් නැතුව ඇති... :'(
ඊයේ මන් අක්කිගේ 4ටොස් බැලුවා... හ්ම්ම් මහා ලොකු ලස්සනක් නැති උනත් එයා හොදයි ඉතින්.. හ්ම්ම් අනේ මන්දා මට කියන්න දෙයක් නෑ කරන්න දෙයක් නෑ..
ඒත්.,
මන් කියනවා මන් ඔයාට ගොඩාක් ආදරෙයි
මන් කරනවා ඔයාට ගොඩාරියක් ආදරේ.. ඔව් අයියේ මේ මම..
ඔයාට නොදැනෙන මේ න0ගි ඔයාගෙමයි.........

Monday, August 18, 2014

කාලෙකින් ලිව්වේ නෑ... වැඩ තිබ්බා පහුගිය ටිකේම.. ඔයා දන්නවා ඒ බවනම්.අපෙ මියුසිකල් ෂෝ එක නේ..
හ්ම්ම් මන් තීරනයක් ගත්තා ඔයාට වද දෙන්නේ නෑ කියලා ආයෙම.කීපාරක්නම් මන් එහෙම හිතුවද මට ඒත් බැරි උනා.. බලමු පොරොන්දු දෙන්නෙ නෑ..ඉන්න පුලුවන් දවසයිද මන් ඒ දවස ඉන්නම් ඔයාට වද දෙන්නෙ නැතුව හොදද අයියේ...
අහන්න මන් ආදරෙයි මගේ සුදු අයියට.හෙන ගොඩාරියක්..ඔව් මගෙ පණ ඔයා මගේ රත්තරන්..

Wednesday, August 6, 2014

ඉදලා හිටලා මැසේජ් එකක් එනවා.ඒකත් වචනයයි දෙකයි.කියන්න රත්තරන් ඔයාට මොකද වෙලා තියෙන්නේ.මාව එපා වෙලාද? නැත්තන් වෙනද වගෙ මාව හදන්නද මේ හැම දේම.. අනෙ දෙයියනේ කීපරක්නම් කියන්නද මන් මට හිතුන වෙලාවට හැදෙන්නම් මගේ අයියේ. ඔයා වෙනදා වගේ ඉන්න මා එක්ක.ඔයා මගෙන් ඈතට යන්න හදනකොට මන් මුරණ්ඩු වෙනවා අයියේ..ඇත්තටම මන් පිස්සෙක් වෙයි...ඔයා මට අඹමල් රේණුවක තරම් වත් ආදරයක් නැති උනාට කමක් නෑ අයියේ ඒත් මේ පිස්සි ඔයාට ආදරෙයි.ඔව් ඔයාට ...පුලුවන් තරම් කාලයක් මන් ඔයා වෙනුවෙන් බලන් ඉනවා.පුලුවන්නම් නවත්තන්න මන් ඔයාට ආදරේ කරන එක.ඔයා මේ කරන එකෙන් ඔයා හිතනවනම් ඔයා ගැන මගෙ හිතේ තියෙන ආදරෙ අඩු වෙයි කියල මගේ අයියේ මන් කියන්නෙ ඔයා වරදි..ඔව් ඔයා ගොඩාක් ගොඩාක් වැරදි.,.මාත් මනුස්සයෙක් නේ මටත් හිතෙයි මේක තෙරුමක් නැති වැඩක් මේ ක අල්ලලා දානව මන් මට කැමති කෙනෙක්ට කැමති වෙනවා කියලා ඒත් අයියේ ඒ දේවල් ක්‍රියාත්මක කරන්න තරම් මගේ හිත දෙපැත්ත වැනෙන් නෑ...ඔව් මන් ආදරෙයි ආදරෙයි ආදරෙයි...ඒ ඔයාටම විතරයි..ඕන දෙයක් කරන්න්න..මැසේජ් නොකර ඉන්න කත්නොකර ඉන්න දැක්කත් නොදැක්ක වගේ යන්න.. කැමති දෙයක් කරන්න..මන් ඉන්නවා.. කවදම හරි ඔයා මාව හොයන් එනකන් නැත්තන් ඔයාගෙයි අක්කිගෙයි වෙඩින් 4ටො එකක් මගේ ඇස් දෙකෙන් දකිනකන්..එක තප්පරේකට හරි ඔයා කියනවනම් මන් ආදරෙයි නන්ගි..ඒත් මට කරන්න දෙයක් නේ කියල දන්නවද අයියේ අන්න එදාට මන් මේ ආදරේ ඔයාගෙන ගොඩාක් දුර ගෙනියනවා.මන් මේ ආදරෙත් එක්ක තනි වෙලා ඔයා දිහා බලන් ඉන්නව පුලුවන් උනොත් හැමදාටම..අනේ රත්තරන් මට තව කියන්න ඕන.ඒත් බෑ තව කිව්වත් කියන්න තියෙන්නේ මන් ආදරෙයි කියන එක තමයි මගේ සුදු අයියේ...

Thursday, July 31, 2014

එක දවසක් හිනා වුනාම දවස් ගානක් අඩන්න වෙනව කියන එකනම් හැමදාම මට වෙන දෙයක්.
එදා රෑ ඔයා එක්ක කියව කියව ඉදලා ඒ හැපි එකේ මුලු දවසම හිටියා.එක පාරටම ඔයා අක්කි එක්ක ස්කයිප් කරන 4ටො එකක් දාලා.ඒක දැක්කම මට ඉතින් කිසි දෙයක් හිතාගන්න බැරි උනා.
කවුරු හරි හෙන තඩි පොල්ලකින් ඔලුවට ගහලා හීන බල බල හිටපු මාව ඇහැරුවා වගේ.
 

 

හ්ම්ම් ඒ ඔයාගේ ජීවිතේ..

Wednesday, July 30, 2014

ඊයේ රෑ තුන වෙනකන් අපි ඇහැරිලා හිටියා නේ අයියේ.,ඔයයි මායි කාලෙකට පස්සේ බූත ටිකක් කියව කියව..හ්ම්ම් ආසයි මන් ඒකට..
අද ඔයාව දැක්කා..කැන්ටීන් එකේ පෝලිමේදි.එවෙලේනම් ඔයා මන් දිහා බැලුවේ නෑ.ඊට පස්සෙ අපි කන වෙලේනම් ඔයාට හිනා නොවී බැරි උනා..
හවසත් ඔයා හිටියා මන් දැක්කා.ඔයත් මාව දකින්න ඇති...
හ්ම්ම් හැමවෙලේම ඔයා දිහා බලන් ඉන්න තියෙනවනම් මට...
හෙට මට ගෙදර යන්න හිතෙනව.සිකුරාදත් කට් කරලා සදුදම එන්න..ඒත් ඔයාව දවස් දෙකක් නොදැක ඉන්න අමාරුයි.මන් ගෙදර යන එක ගැන හිතනවනම් හිතන්නේ ඒ හින්දා..
බලමු මන් නැති උනාම ඔයාට අඩුවක් දැනෙයිද කියලාවත්...

Monday, July 28, 2014

අදනම් ඔයාව ඇතිවෙන්නම දැක්කා..ඒත් ඉතින් අපිට හිනාවෙන්න බැරි උනානේ.එක පාරක් මන් ඔය ඇස් මග ඇරියා.අනිත් වෙලාවේ ඔයා මගේ ඇස් මග ඇරියා.හ්ම්ම් එකට එක කරන්න නම් හරි හපන් නේ?
හි හි ඒ මොනා වුනත් ඉතින් බඩ කට පිරෙන්න දැකගත්තා නේ ඔයාව ඉතින්..

Sunday, July 27, 2014

අද දවසම මහ අමුතුවට තිබිලා එක පාරටම දවස පුරා තිබ්බ ඒ ගතිය නැති කරලා දාන්න ඔයාගේ ඒ කෝල් එකට පුලුවන් උනා අයියේ.ගොඩාක් හොදට ඔයා මා එක්ක කතා කලා.මන් දන්නවා කෝමත් මගේ අයියා එහෙමයි කියලා.වෙන කෙනෙක්ගේ හිත රිද්දන්න කැමති නෑ කියලා.දන්නවනේ ඔයා මන් ඉතින් හෙන ගොඩාක් ආදරයක් බලන් ඉන්නවා කියලා ඔයාගෙන්.ඒ නිසා ඔයාගේ පොඩි පොඩි වැඩ පවා මට ලොකුවට දැනෙනව.ඒක වෙන්නැති මට දුක...
හ්ම්ම්... කතා කලත් එතනත් හදිස්සිය.මට බොගන්නලු.කෝට් එක හෝදන්න තියෙනවලු.බනින්න කිව්වම ඒත් බෑලු.අක්කි දාපු 4ටෝ එක ලස්සනයි නෙදලු.,කියන්න දෙයක් නෑලු..උවමනාවෙන් මගේ ඇස් මග ඇරියේ නෑලු.. ඕවා තමා ඉතින් කිව්වෙ.
හ්ම්ම්...
කතා කලානේ ඔයා කොහොම හරි ඒ ඇති.මට ඉතින් වෙනදා වගේ තමා හැමදේම බ්ලොක්.කවදා කියන්න පුලුවන් වෙයිද දන්නෑ මගේ හිත ගැන ඔයාට.
අනේ මන්දා අයියේ ආදරෙයි මන් ගොඩක්...

Friday, July 25, 2014

හිතලා හිතලම ඉතින් අද දවසත් ගෙව්නා ඔන්න.වෙන කියන්න මතක් වෙන්නෙ නෑ.ආදරෙයි කියලා විතරක් කියන්නම් මන්...

හීන ගෙනෙන රෑ මැදියම තරු මට ඔච්චම් කලාට
තරු දන්නෑ සදට හොරා මන් ආදරේ බව තරුවට
හීන ඇහිද රෑ පුරාම තරු නෙත් මගේ ළග හිටියට
ඒ නෙතු මට හිමි නොම බව කීවේ කදුල උන් නෙතු යට

Thursday, July 24, 2014

අනේ මන්දා.. ළගින් යනකොටවත් අඩුම තරමින් හායි නන්ගි කියලාවත් කියන්න හායි අයියේ කියලාවත් කියන්න තරම් නිදහසක් අපිට නෑ අයියේ.ඔයානම් මගේ ළගින් යනකොට නොදැක්කා වගේ යන්නේ උවමනාවක් නැති නිසා ඇති ඒත් මන් ඔයා ළගින් යද්දි නොදැක්ක වගේ යන්නේ මට කරන්න දෙයක් නැති කමට අයියේ,මගේ අසරණ කමට අයියේ..ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා ඔයා දන්නේ නෑ සුදු අයියේ.
මේ හැමදේටම හේතුව මන් ඔයාට ආදරේ කරන එකනේද අයියේ.ඒත් දෙයියනේ මට වෙන කරන්න දෙයක් නේ.මේ දේවල් මෙහෙම වෙනවා කියලා දැන දැනත් මට බෑ ඔයාට ආදරේ නොකර ඉන්න.අනේ මන්දා මේ ආදරේ හින්දා මන් ගොඩාක් අසරණ වෙලා අයියේ..අනේ මට ඔයාට ආදරේ කරන්න දෙන්න අයියේ......

Wednesday, July 23, 2014

අනේ ඇයි අයියේ මෙච්චර වෙනසක් දැනෙන්නේ මට ඔයාගේ..මාව හදන්නද මේ හැමදේම නැත්තන් ඔයාට මාව වදයක් වෙලාද?අනේ මට ඒක කියන්න අයියේ..හිත  හදාගන්න හැම වෙලේම ට්‍රයි කරනවා.ඒත් අනේ මන්දා මේ දවස්වල මහා අමුතු දේවල් මට හිතෙනවා අයියේ.වෙනදා වගේ ඔයා ඉන්නවනම්..
ආදරෙයි අයියේ මන් ඔයාට... දැනෙනවද කියන්න මට

Sunday, July 20, 2014

 ඔයා මගේ හිතේ තියෙන මේ හැගීම ගැන දැනගෙන අදට හරියටම අවුරුද්දයි.ඔව් මට මතකයි ඒ ගිය අවුරුද්දේ ජූලි 20. මන් දාපු ස්ටටස් ගැන ඔයා මගෙන් ඇහුවා ඒවදැම්මේ ඔයාටද කියලා.ආයෙම නෑ කියන්න ඕන උනේ නෑ මට.ඉතින් මාත් ඔව් කිවුවා.
ඊට පස්සේ අපි ගොඩාක් බූත කියෙව්වා.ඇත්තටම අපි ගොඩාක් ලන් උනා.ඔයා හැම වෙලෙම මාත් එක්ක මැසේජ් කලා.ටික කාලයක් හරි ලස්සනට හැමදේම උනා.ඔයා වෙනකෙනෙක්ගේ උනත් ඒ බව දැන දැනම මන් ඔයාට ලන් උනා.
ඒත් හිටපු ගමන් ඔයා වෙනස් උනා.ඒක මහා පුදුම වෙනස් වීමක්.මගේ හිතට දුකක් දැනුනනම් දැනුනේ එදා ඉදලා අයියේ.ඒ දවස්වල මන් හිත හදා ගත්තු හැටි..මටම පුදුමයි අයියේ.මාස 2ක් විතර ඔයාට මැසේජ් නොකර හිටියා මන්.
ඒත් ආයෙම ඔයා මා එක්ක කතා කලා.මැසේජ් කලා.ඒත් වෙනදා තරම් ළන් වෙලා නෙමේ.මට දැනුන විදිහට අපි ගොඩාක් දුරස් වුනා..අදටත් ඒ දුරස් වීම එහෙම්මමයි අයියේ.හිනා වෙලා ඔයාට කතා කලාට මගේ හිතට තාමත් ඔයාගේ මේ වෙනස් වීම දරාගන්න හරි අමාරුයි අයියේ.

හ්ම්....
හැමදේම වෙනස් වෙන ඉක්මන.එකම එක ඉගියක්වත් දෙවනම් ඔයා.මගේ වෙනවා කියලා නෙමේ.ඔයාට මාව දැනෙනවා කියලා.දන්නවද ඒ ඇතිවෙයි මට ආයෙම හිනා වෙන්න ඉස්සර වගේ.ඔව් අයියේ මේ මැට්ටි ඔයාට ඒතරමටම ආදරෙයි.
ඔයා වෙනුවෙන් ආදරයක් අක්කි ලගත් ඇති.ඒත් ඒ ආදරේට බෑ කීයටවත් මගේ ආදරේට සමාන වෙන්න.මොකද මන් ඔයාට හෙනම ගොඩාක් ආදරෙයි.ඔයා මට ඔයාට ආදරේ කරන්න දෙනවනම් මන් ආදරේ කරනවා මේ ලෝකේ කාටවත් කවුරුවත් දුන්නේ නැති තරම් ලොකූ ආදරයක්.
හ්ම්... මන් නවතිනවා.
ආදරෙයි ගොඩාක් ඔයාට.....


Friday, July 18, 2014

අම්මියෝ අදනම් හිත පිරෙන්නම හිනා වුනා ඔයා එක්ක.හෙනම හැපි අයියේ මට.බලන්න ඉතින් මන් ඔයාගෙන් වෙන දෙයක් ඉල්ලනවද නෑනේ.
ඒ විදිහට හිනා වෙලා ඉන්න කියලා විතරනෙ මන් ඉල්ලන්නේ.
මගේ අයියේ දන්නවද ආදරෙයි ගොඩාරියක්..........

Wednesday, July 16, 2014

අහ් අද ඔයාව දැක්කා මන්නම් ඒත් ඔයා මාව දැක්කේ නෑනේ.ඒකටනම් කමක් නෑ ඉතින්.
ඒක නෙමෙයි කාලෙකින් TOව දැක්කේ නෑ.කෝ එය කොහෙද?ඔයා නැති වෙලාවට ඔයාගේ පාලුව මැකුවේ එයානේ.ඉතින් එයා නැති උනාම නිකන් මොකද්ද වගේ..හි හි මටත් පිස්සු ඉතින්.
අහ් මන් අදත් ඔයාට මැසේජ් කලේ නෑ ඔන්න..මන් හොදයි නේ..

Tuesday, July 15, 2014

මන් පටන් ගත්තා අදත්.මොකද්ද දන්නවද? ඔයාට මැසේජ් නොකර ඉන්න..හි හි..
ආයෙම හෙට කරයිද දන්නේ නෑ ඉතින්.අද නම් කරන්නේ නෑ හැබැයි.. බලමුකො නේ..
ආ තව එකක්..
අද ඔයාලගෙ batch එකෙ අය ඇවිත් ලයිබ්‍රි එකෙ බොගන හැටි දැක්කම මට හිතුනා මන් මේ බූත කියෙව්වට ඔයාට ඇකඩමික්ස් වැඩ කොච්චරනම් ඇත්ද කියලා අයියේ.මේ මැට්ටි අතින් ඒවට කරදරයක් වෙනවනම් අනේ සොරි හොදේ.ඒ ගැන හිතලාවත් හැදෙන්න මන් බලන්නම්කො මගේ අයියේ..
ඒ නිසා දැනට මේක මතක තියා ගන්නකො..මොකද්ද දන්නවද ..?
මන් ආදරෙයි කියලා ගොඩාක්...:)
 




Monday, July 14, 2014

අද ඔයා පේන්න හිටියෙම නෑ.අඩුම තරමේ ටොවත් නෑ හිටියෙ පේන්න.ආවද නැද්ද කියලා අහන්න මැසේජ් එකක් දැම්මම් ඒකට රිප්ලයිත් නෑ ඉතින්.. අනේ මන්දා රත්තරන් ඔයා හොදින් නේද?
මට නොපෙනෙන්න හිටියත් ඉන්න තැනක හොදින් සතුටින් ඉන්න.ඒ ඇති..ආදරෙයි ඔයාට මන් ගොඩාක්

Friday, July 11, 2014

අද සිකුරාදා.මට මේ වීකෙන්ඩ් එකනම් පෙන්නන්න බෑ..ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ඉතින්.,මගේ සුදු අයියව දකින්න නැති නිසා...

ඔයා හුගාක් ඈත් වෙලා අයියේ..මට එහෙම දැනෙනවා.මෙහෙම කරන්නේ ඔයා මාව හදන්න වෙන්න ඇති.ඉතින් මන් හැදෙන්න බලන්නම්.අනේ හැදෙන්න බැරි උනොත් මත් එක්ක තරහා වෙන්න එපා සුදු අයියේ..

Thursday, July 10, 2014

ඇත්තටම අයියේ ඔයා මොකද මෙහෙම කරන්නේ.මාව හදන්නද හදන්නේ.. ඔයාට නැහැයි කියන්න බෑ අදනම් මොකද අද ඔයා මාව අද හොදටම දැක්කා.ඒත් නොදැක්කා වගේ හිටියා.දන්නේ නෑ ඔයා මොන විදිහට හිතනවද කියලා අයියේ...
කමක් නෑ ඉතින් ඔයාගේ කැමැත්ත ඒකනම්.
මීට පස්සෙ බලාපොරොත්තු තියාගන්නේ නෑ මන්.හිත ඔයාගේ.ඔයා කැමති දේවල් හිතන්න.කැමති දේවල් කරන්න.මන් මට ඕන දේ කරන්නම්.
ඔයා මන් දිහා බලලා හිනාවෙන්න ඕන නෑ.මන් ඔයා දිහා බලන්නම්.ඇත්තටම මේ හැමදේම ඕන මට විතරනේ.ඒ නිසා ඔයාට ඕන දේ කරන්න.ඔයාට හිතෙන දවසක හිතෙන වෙලාවක මා එක්ක හිනා වෙන්න කතා කරන්න.හිත රිදෙනවනම් තමයි ඉතින්.ඒත් මන් කියලා මොනවා කරන්නද මගේ අයියේ..
මන් ඔයා දිහා බලලා වෙනදා වගේ හිත පුරෝ ගන්නම්.
අමාරු වැඩක්.ඒත් මන් එහෙම හිතන්නම් එතකොට ලේසි වෙයි

Wednesday, July 9, 2014

හ්ම්ම්.... නොදැක්කා වගේ ඉන්න හැදුවට අදනම් මග අරින්න උනේ නෑනේ මගේ ඇස්.කපටියා.. ඔය කපටිකම් මට විතරද මන්දා... ඔයා මාව නොදැක්ක වගේ හිටියට TO නම් එහෙම ඉන්නෙ නෑ.ඒකතමයි අද ඔයාට මා එක්ක හිනා වෙන්න උනේ.TO දන්නවා මන් ඔයාව නොදකින දවස් වලට මන් එයා දිහා බලලා සැනසෙන හැටි.කියන්න පුලුවන්නම් කියයි ඔයාට ඔයාගේ TO ඒ හැම දේම..
හ්ම්ම් අනේ මන්දා ඉතින්........

Tuesday, July 8, 2014

අයියේ අනේ මට ඔයාට කතා කරන්න ඕන..එදා වගෙ නෙමේ මට මගෙ හිතේ තියෙන හැම එකම ඔයාට කියන්න ඕන.මන් ගැන පොඩි හරි ආදරයක් ඔය හිතේ නැද්ද කියලා මට ඔයා ඇස් දෙක දිහා බලාගෙන අහන්න ඕන අයියේ.ඔයා කොච්චර කිව්වත් ඔයාගේ වෙනසක් මට පේනවා අයියේ.ඔයාගේ හිනාව වෙනද වගේ නෙමේ අයියේ.ඒ වෙනස නිසා මන් මේ දවස් ගානම දුකෙන් හිටියේ.අනෙ මන්දා ඔයා මාව හදන්න වෙන්න ඇති මේ හදන්නේ ඒත් බෑ අයියේ මට.රිදෙනවා ගොඩක් මේ පුන්චි හිතට..
මට මහා පුදුම විදිහට ඔයාව ඕන කියලා හිතෙනවා අයියේ ළගකදි ඉදලා.මන් දන්නෑ මට මොනා වෙලාද කියලා.
අනේ රත්තරන් කියන්න මන් මොකද කරන්න ඕන කියලා.ආදරෙයි මන් ඔයාට මගේ සුදු අයියේ.

Monday, July 7, 2014

හ්ම්ම් කාලෙකට පස්සේ අද ඔයා එක්ක කතා කරන්න පුලුවන් උනා.. ඒ කතාවට හරියට අගක් මුලක් තිබ්බේ නෑ.මොකද ඉතින් එක පාරටම ඔයා ඉන්නව දැක්කම අහන්න තියෙන ඒවා ඔක්කොම ටික බ්ලොක් වෙනවනේ.අදත් එහෙම තම්යි ඉතින් උනේ..හ්ම්ම් කොහොම හරි ඔයා එක්ක විනාඩියක් හරි කතා කලානේ අම්මෝ ඒ ඇති හොදටම..
ඒත් පස්සේ හිතුනා පොඩි දුකකුත්.හැමදාම වගේ ඉතින් ඔයා මගේ උනානම් කියලා හිතුනා.එහෙම උනානම් අපිට කොච්චර දේවල් කතා කරන්න තිබ්බද..හ්ම්ම් එහෙම දවසක් ගැන අදටත් මන් හීන දකිනවා.,හෙටත් දකිවි සුදු අයියේ...

Wednesday, July 2, 2014

මේ මොකද්ද අයියේ මට මේ වෙලා තියෙන්නේ..මන් දැන් හොදටම මුරණ්ඩු වෙලා.. පොඩ්ඩ ඇත්තන් හෙන අවුල් යනවා.ඇයි මේ?
අනේ මන්දා මට හිතෙනවා ළගකදි ඉදලා මන් ඔයාගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා.වෙනදා ඔයා වෙන කෙනෙක්ගේ කියලා හිත හදා ගත්තත් දැන් එහෙම කරන්න අමාරුයි වගේ අයියේ.අනේ මන්දා ඔයාව දැක්කමත් මොනවදෝ මන්දා මගේ හිත ඉල්ලනවා අයියේ මට තේරෙන්නෑ.
අද මගේ ඔලුව පැලෙන්න තරම් රිදුනා.කෑගහලා අඩන්න හිතුනා.ඔයා ලගට ඇවිත් තුරුල් වෙන්න හිතුනා.අනේ මට මෙහෙම හැමදාම ඉන්න ඕන කියල කියන්න ඕන උනා.. අනේමන්දා අයියේ මෙහෙම උනේ ඇයි කියලා.
මේ සතියෙම එහෙමයි.ඔයාගේ වෙනසක් තියෙනවා කියලා හිතුන වෙලේ ඉදලා මෙහෙමයි.ඔයා වෙනස් උනොත් මට පිස්සු හැදෙයි..මේ ඒ පිස්සුව වෙන්න ඇති.අනේ රත්තරන් මට වෙනසක් කරන්න එපා..මන් ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරයි.මට දරා ගන්න බෑ සුදු අයියේ..මගේ ආදරේ ගැණ මන් තීරනයක් ගන්නම් ඒත් ඔයා වෙනස් වෙලා මට තීරන ගන්න කියන්න එපා අයියේ..එහෙම තීරන ගන්න බෑ මට.මේ මට දැන් වෙලා තියෙන්නෙත් ඒක.ඔයාගෙ වෙනස මට මහා දුකක් අයියේ..ඒ මන් ඔයාට හෙන ගොඩාරියක් ආදරේ නිසා මගෙ සුදු අයියේ... 

Tuesday, July 1, 2014

අද හරි අමුතු දවසක්..උදේ ඉදලා මහා පුදුම විදිහට ඔයාව මතක් උනා.. අනේ මන්දා ඒ ඇයි කියලා.
ෆැක් එකේදි ඔයා මාත් එක්ක හිනා උනත් එක්ක.ඒත් හෙන ලොකු අඩුවක් තිබ්බ වගේ.දන්නේ නෑ ඔයා වෙනදා හිටියට වඩා වෙනස් කියලා හිතුනා අයියේ.ඒ වෙනසට මන් කැමති නෑ.ඇත්තටම මාව පිච්චෙනවා ඔයා මාව දැක දැකත් නොදැක්කා වගේ යනකොට..
මට තේරෙන්නෑ අයියේ.මට හිතාගන්න බෑ..මේ වෙනසට හේතුව මොකද්ද කියලා.අනෙ මොකක් හරි තියෙනවනම් මට කියන්න අයියේ.මට කතා කරන්න කිසිම දෙයක් නොකියා ඉන්නකොට මන් කොහොමද රත්තරන් හිත හදාගෙන මේ වෙනස දරාගන්නේ..
අනේ සුදු මගේ ඔලුව රිදෙනවා.. වෙනස් වෙන්න එපා මගේ අයියේ.වෙනස් වෙන්න ඕනමනම් කවුරු හරි මන් වෙනස් වෙන්නම්.මොකද ඔයාගේ වෙනස මට දරාගන්න බැරි නිසා.
ආදරෙයි ගොඩාක් මගේ අයියේ මන්

Monday, June 30, 2014

අදනම් ඉන්නම බැරි උනා.. ඉතින් මන් මැසේජ් කලා.... අනේ මන්ද මේ තමයි මගේ හිත... 

Sunday, June 29, 2014

දවස් හතරයි..
අදනම් ඉන්න ගොඩාක් අමාරු උනා.ඒ හින්දමද මන්දා දවසම අල උනා.වැඩක් කරේම නෑ වගේ..
කොහොමද කියලා අහලා මැසේජ් එකක් දාන්න හිතුනා ඒත් හිටියා මන් කොහොම හරි ඉවසලා.හෙට ඉතින් ඔයා එනවනේ..දකීද නැද්ද දන්නෑ.මොකද සදුදා දවස් වලට සාමාන්‍යයෙන් ඔයාව දකිනවා හරි අඩුයි මන්.ඒකයි ඉතින්.හ්ම්ම් බලන් ඉන්නම් ඉතින් මගේ සුදාව දකිනකන්.......

Saturday, June 28, 2014

දවස් තුනයි...
පුදුමයි මන් මෙහෙම හිටියා.දවාස් තුනක්ම.. මටම හිතිලා..
ඔයා මෙහෙ ආවද දන්නෑ.තාම ගෙදරද දන්නෙත් නෑ.අද එක්සෑම් එක අස්සෙත් මට ඔයාව මතක් උනානේ.මටම හිනා ඉතින්..මේ සුදු අයියා පැටියව මතක් නොවෙන තැනක් නෑනේ ඇත්තටම
ඔයා පරෙස්සමෙන් මෙහෙ ආවනම් ඒ ඇති.තාම ආවෙ නැත්තන් පරෙස්සමෙන් එන්න සුදු අයියේ..බලන් ඉන්නවා ඔයා එනකන් මන්.ඔයාට වදයක් වෙන්න බැරි හින්දා මන් මෙහෙම හිටියට ආදරෙයි ගොඩාක් මන් මගේ සුදු අයියට...

Friday, June 27, 2014

දවස් දෙකයි...
වෙනසක් නෑ ඉතින් මැසේජ් නොකලට හැමවෙලේම ඔයා මාත් එක්ක හිටියා.කොහෙද දන්නවද? මෙන්න මෙතන..
පේනවද මේ මගේ හිතේ.
ඒකනම් ඉතින් එහෙම උනාට මැසේජ් නොකර ඉන්න එක හරි අමාරු වැඩක් අයියේ.එක වචනයක් කියලා ඔයාගෙන් ලැබෙන මැසේජ් එක දිහා බල බල මන් සතුටු වෙන තරම් දන්නේ මන් විතරයි අයියේ.හරියට අර මොනවා හරි කියන්න කියලා මන් මැසේජ් කරාම ඔයා 'බෑ' කියලා එවන මැසේජ් එක වගේ..
හ්ම්ම්...

Thursday, June 26, 2014

දවසයි...
අද ඔන්න මන් ඔයාට මැසේජ් කලේ නෑ.ඔන්න මන් හිතාගෙනම එක දවසක් මැසේජ් නොකර හිටියා අයියේ.
ඉන්නත් බෑ වගේ මෙහෙම..ඔයාගෙන් රිප්ලයි නාවත් මැසේජ් කරන්නමයි හිතෙන්නේ...ඒත් නාවත් කමක් නෑ කියල හිතලා මැසේජ් කලත් රිප්ලයි එක නැති උනාම ඒ ගැන හිතල හිතලා මන් දුක් වෙන හැටි දන්නෙත් ඉතින් මන්ම තමා.... බලමුකො ඉතින් මන් මේක කොච්චර කල් කරයිද කියලා..
දෙයක් කියන්න ඕන අයියේ.,
ආදරෙයි මන් මගේ සුදු අයියට...

Wednesday, June 25, 2014

මන් හිතුවා ඔයාට මැසේජ් කරන එක අඩු කරන්න.මට ඕන මගේ ආදරේ කාටවත් වදයක් නොවෙන්න.ඔයාටවත්.ගොඩාක් දවස් හිතුවා ඒත්  කරන්න බැරි උනා.බලමු ට්‍රයි එකක් දීලා.
මැසේජ් නොකර මට පාලු හිතුනම මන් ඇවිත් මගේ දිනපොත ලියනවා කියලා හිතුවා.බලමු හරියයි ද කියලා.හ්ම්...
එහෙනම් අයියේ මන් මොකද කරන්නේ කරන්නේ කියලා බලමුකෝ.


Monday, June 23, 2014

ආයෙම ඔයාව නොදකින සතියක දවස් ගෙවෙන්න ගත්තා.
අමුත්තක් දැනුනා අද මට හුගාක්.ඇයි කියලානම් තේරෙන්නෑ.අනේ මන්ද මන් මෙහෙ ඉද්දි ඔයා ගෙදර යනකොට හෙන දුර යනවා වගේ ඔයා. මෙහෙ ඉන්න කියලා මන් ඔයාට කිව්වත් මන් දන්නවා ඔයාගේ ජීවිතේ තියෙන්නේ එහේ.ඔයා කැමතිම මතක තියෙන්නේ එහේ.ඉතින් මන් කොහොමද ඔයාව නවත්තන්නේ.මගේ ජීවිතේ තියෙන්නේ මෙහේ.මෙහෙම විතරයි.මන් කැමති මතක තියෙන්නේ මෙහේ.ඉතින් අපි දෙන්නගේ ජීවිත එකම තැනක  තියෙන අපි කැමතිම මතක එක ම තැනක තියෙන කාලයක ඒවිද දන්නෑ.ඒත් මන් බලන් ඉන්නවා..
එහෙනම් අය්යේ යන්න පරිස්සමින් ගිහින් පරිස්සමින්ම එන්න හොදද මගේ අයියේ...මන් ඉන්නවා ඔයා එනකන් බලාගෙන...ඉක්මනට එන්න

Thursday, June 19, 2014

අද ඔයාව දැක්කේ නෑ.වෙනදා වගේ ම ඔයා මාව මග අරිනවා ඇති.කමක් නෑ ඉතින් මන් මොනවා කරන්නද දෙයියනේ..මන් පටන් ගත්තු මේ ආදරේ ඔයා දැනගත්තු නිසා ඔයාගෙනුත් මොනවදෝ මන්දා මන් බලාපොරොත්තු උනත් මේ ආදරේ තනිකරම ඇතිඋනේ මගේ හිතේ විතරයි නේ..ඔයා මේ ගැන දැනගත්තේ නැත්තන් මන් තනියම ඔයාට ආදරේ කරාවි.හැබැයි එහෙම උනානම් මට මේ තරම් දුකක් දැනෙන එකක් නැති වේවි මොකද එතකොට මට ඔයාගෙන් කියලා බලාපොරොත්තු වෙන්න දෙයක් නෑනේ...
කමක් නේ  ඒත් දුක ඔයා ලග ඉද්දිත් හෙන දුරයි වගේ දැනෙන එක අයියේ.කලින් මෙහෙම දැනුනේ නෑ.ඒත් මේ ලගකදි ඉදලා ඒක එහෙම වෙලා.දුකයි බයයි හැමදේම එක්ක මාව නිකන් තෝන්තු වෙලා ගිහින් වගේ අයියේ.දන්නේ නෑ මේ හැගීම තව ඉස්සරහට කොහොම දරාගන්නද කියලා.ඔයා නැතුව මන් ඉන්නේ කොහොමද මගේ රත්තරන්.කමක් නෑ මගේ අයියේ බලන් ඉන්න පුලුවන් මට ඕන තරම් කාලයක්.ඒ පුලුවන් කාලේ හැම තත්පරයක්ම මන් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා.එයි කියලා හිතෙනවා..බලමු විසෙදෙනකන් හැමදේම හොදින්.. සතුටින් ඉන්න ඔයා... ආදරෙයි මන් ගොඩාක් මගේ අයියේ.මට ඔයාව ඕන....

Tuesday, June 17, 2014

අද ඔයාව දැක්කා.දවස් ගානකට පස්සේ තමයි ඒ...අනේ මන්දා ඉතින් ඔයා හිනා උනා මාත් එක්ක.ඒත් ඒ හිනාවේ මොකද්දෝ අමුත්තක් තිබ්බා.වෙනසක් තිබ්බා.නිකන් හරිම ආගන්තුක ගතියක් ඒ හිනාවේ තිබ්බේ අයියේ..වෙනදා වගේ නෙමේ.කියන්න මේ දවස් ගානට ඔයාට මාව මේ තරම් ඈත් උනාද අයියේ.. මේ වෙනසක්නම් මට කියන්න පුලුවන් මන් කියන්න දන්නේ මන් මේ වෙනසට කැමති නෑ අයියේ..ඇත්තටම මන් බයයි මගේ අයියේ...

Monday, June 16, 2014

අද කොච්චර ආසාවෙන්ද මන් හිටියේ ඔය මූන ටිකක් බලාගන්න.ටිකක් හිනා වෙන්න.දන්නවද මන් මග බැලුවා පුලුවන් හැම වෙලේම.ඒත් එක මොහොතකටවත් ඔයා පේන්න හිටියේ නෑ..කමක් නෑ..මන් දන්නවා ඔයා මන් නිසා ඔයාගේ වැඩ පාඩු කරගන්නේ නෑ කියලා.ඒත් එක මොහොතකට හරි මට පෙනිලා යන්න බැරි උනේ ඇයි මගේ සුදු අයියේ.?ඔයා දන්නවා මන් හොදටම මග බලන් ඉන්නේ මගේ සුදු අයියව බලා ගන්න ආසවෙන් කියලා.ඒත් එහෙම තියෙද්දිත් ඔයා....!!!!
හෙටවත් එක තත්පරේකටවත් පෙනිලා යන්න එන්න.හිනා වෙන්න ඕන නෑ.මන් එන වෙලාවට මට පේන දුරකින් හරි ඉන්න.ඔයා නොදැක්කට මට විතරක් ඔය මූන ටිකක් බලන්න.ගොඩාක් පාලුයි දුකයි මට ඔයාව නොදැක...කරන්න දෙයක් නෑ ඒ මගේ ආදරේ හැටි වෙන්න ඇති මගෙ අයියේ...

Saturday, June 14, 2014

සති දෙකක් හිටියා කොහොම හරි ඔයාව නොදැක...හෙට මන් ආයෙම ඔයාව දකිනවා.ගොඩාක් සතුටුයි.ඒත් ඒ සතියෙන් පස්සේ ආයෙම ඔයාලට නිවාඩුයි නේ..මොනා කරන්නද ඉතින්.... සති දෙක දෙක නෙමේ මේ අවුරුද්දෙන් පස්සේ ඔයා යන්නේ ආයේ ෆැක් එකට නො එන්නම් කියලා මතක් වෙනකොට මට පිස්සු වගේ අයියේ.
මේ කතාව මෙතනින් ඉවර කරන්න හිතෙනවා.ඒත් ඔයා මන් ලගට ඒවි කියන විශ්වාසෙකුත් තියෙනවා.
මට හිතෙනවා මගෙයි ඔයාගෙයි ගොඩාක් ගැලපීම් තියෙනවා කියලා අයියේ. අනික මට ඔයාව මෙහෙම මුණ ගැහුනේ.,අක්කි රට ගියේ,ඔයා මගේ මැසේජස් වලට රිප්ලයි කලේ,අනික අපි දෙන්න එක වගේ උනේ... මේ දේවල් නිකන් උනා කියලා මට හිතෙන්නෑ අයියේ..ඔයා මගේ ඒකයි මේ හැමදේම මෙහෙම උනේ..එන්න අයියේ..මන් මග බලන් ඉන්නවා.මෙ හිත ඇතුලේ ගොඩාක් ආදරේ තියේනවා ඔයා වෙනුවෙන්ම සුදු අයියේ..

Tuesday, June 3, 2014

දවස් ගානක් උනා ඔයාව නොදැක..තව ඉස්සරහටත් තව දවස් ගානක් තියෙනවා මේ නිවාඩුව ඉවර වෙන්න..ඒ අපිට පටන් ගන්නකොට ඔයාලට නිවාඩු හම්බ වෙයිද දන්නේ නෑ.මොනවා කරන්නද ඉතින්..කවදම හරි නොපෙනෙන්නම් යන ඔයා නැතුව ඉන්න මට පුරුදු කරනවා ඇති මේ දේවල් වලින්.බලමුකෝ...
ඉතින් අයියේ ඊයේ මුලු දවසෙම මට ඔයාව ගොඩාක් මතක් උනා.එක එක බූත හිතුනා.අනේ මන්දා අයියේ මන් ඔයාට හෙන ගොඩාක් ආදරේ කරන්න අරන් කියලා මට දැනෙනවා.
ඔයාව අයිති නෑ.ඔව් ඔයා මගේ නෙමේ.ඔයා ඒ අක්කිගේ.ඒ අක්කි එක්ක කවදම හරි ඔයා යන්න යාවි.ඔයාටයි  ඒ අක්කිටයි ලස්සන කතාවක් තියේවි.කවදම හරි ඔයා ඒ අක්කිව  මැරි කරයි,ඒ අක්කිව තුරුල් කර ගනී,ඒ අක්කි එක්ක දවල් රෑ තිස්සෙම ඉදිවි,ඒ අක්කි එක්ක චූටි පැටව් දෙතුන් දෙනෙක්ගේ තාත්ති කෙනෙක් වේවි,ඒ පැටව් එක්ක සෙල්ලම් කරාවි.... හ්ම්ම් ඒ ඔක්කොම දිහා බලාගෙන මටත් ඉන්න වේවි.
හිතන්න දුකයි මට ගොඩාක්..ඒත් ඔයාගේ ජීවිතේ,ඔයාගේ හීන මැවුනේ ඒ විදිහටනේ ඉතින් ඔයාගේ හීන මැද්දට මට එන්න බෑ..ඇවිත් මන් වගේම තව කෙල්ලෙක්ගේ හීන බිදලා දාන්න හිතෙන්නෑ..ඒත් එහෙම උනත් මොකාක් හරි මිරකල් එකක් වෙලා ඔයා මන් ලගට එයි කියන විශ්වාසෙකුත් නැතුවම නෙමේ අයියේ.අක්කිට දුකක් නැතුව මොනාම හරි දෙයක් වෙලා ඔයාට මගේ ලගට එනවනම් රත්තරනේ මන් ඉන්නවා මග බලාගෙන...
ඉතින් අයියේ මන් මගේ ආදරේ විශ්වාස කරනවා ගොඩාක්..හැමදේම හොදින් විසදිලා කවද හරි ඔයා මන් ලගට ඒවි කියන විශ්වාසයෙන් මන් බලන් ඉන්නවා රත්තරන්..ආඩම්බර කමට ඉන්න එපා ගොඩාක් ආදරේ තියෙනවා මගේ මේ හිතේ මගේ සුදු අයියටම වෙන් වෙලා...
ආදරෙයි අයියේ..

Wednesday, May 28, 2014

අද ඔයා හෙන හොදට මා එක්ක හිනා උනා.මන් දිහා බැලුවා.අනේ ඔහොම ඉන්න රත්තරන්.මන් මීට පස්සේ ඔයාට වදයක් නොවී ඉන්න බලන්නම් අයියේ.අපි ඊයේ කතා කරලා වෙන් උනේ හොදම හොද යාලුවො දෙන්නෙක් වගේ.. ඉතින් එච්චර හොදට හිටපු ඔයාට වද දෙන්නේ කොහොමද අයියේ මන්.. ආදරෙයි ඉතින් ඒ උනාට..

Tuesday, May 27, 2014

හැපි බර්ත් ඩේ අයියේ ඔයාට....
තැග්ගක් දෙන්න හිටියේ කොහෙද ඉතින් ඔයා දෙන්න දුන්නෑනේ.ඒත් අද ඔයා මට ගොඩාක් ලොකු තෑග්ගක් දුන්නා.තෑන්ක්ස් ඒකට.. හිතපු විදිහට නොවුනට නොහිතපු විදිහට ඒ දේ සිද්ද උනා..
ඔයා හැරෙන්නෑලු,මේ බූත මට නවත්තන්නලු,ඔයා රට යාවිලු,අක්කි ජනවාරි වල ඒවිලු,ඔයා හොද කෙනෙක් නෙමේලු,අක්කි රට ඉන්න ආසයිලු,මට වෙන කෙනෙක් හොයා ගන්නලු,ඔයාව පේන්නැති උනාම මේ බූත නවතිලු...ගොඩාක් දේවල් කිව්වා ඔයා.අනේ මන්දා අයියේ ඔයාව මට ලැබෙනවනම්.ඔයා මගේ වෙනවනම්.ආදරේ කරන්නම් මන් ගොඩාක් දැනටත් වඩා.
ඔයා යන්නද කියලා අහද්දි ලෝබයි මට යන්න කියන්න.අනේ තව ටිකක් වෙලා ඉන්න කියලා කියන්න ඕන උනත් කියාගන්න බැරි නිසා නොකියා හිටියා.ඔයාටත් තේරෙන්න ඈති ඒක.හ්ම්ම්......
පඩිපෙළ බහිද්දි ඔයා මන් දිහා බලපු විදිහ අමටහක කරන්න බෑ කවදාවත් මට..ගොඩාක් පින් ඔයා අද මට මේ දීපු තෑග්ගට..
ආදරෙයි අයියේ ගොඩාක් මන් ඔයාට......

Friday, May 23, 2014

උදේ දෑක්ක වෙලාවේනම් දෑකලා නොදෑක්ක වගේ හිටියා.හවසනම් ඉතින් ඔයා හිනා වුනා..
ඔයා මේසේ ලග ඉදන් ඉන්න වෙලේ මන් හිතුවෙම නෑ ඔයා හෑරිල බලයි කියලා ඒත් බෑලුවනේ.. මගේ හොද අයියා... 

Thursday, May 22, 2014

හ්ම්ම්ම්................ කවදා කොහොම කොහෙන් ඉවරවෙයිද කියලා මන් දන්නෑ අයියේ මේක.ඈයි මට ඔයා ගෑන හිතන්නෑතුව ඉන්න බෑරි.අයි හෑම වෙලේම මන් ඔයා ගෑන හිතන්නේ.ඔයාට මන් ගෑන ගානක්වත් නෑ.ඈත්තටම ඉතින් ඔයාට මන් ගෑන හිතන්නත් බෑනේ ඉතින්.ඒත් ඒවා දෑන දෑන් ඈයි අයියේ මන් මේ පිස්සු නටන්නේ..
කොච්චරවත් හිතුවත් මගේ ආදරේ මන් මගේ හිතේම තියන් ඉන්නවා කියලා මන් එහෙම කරලා නෑනේ අයියේ.
බලමු ටිකක් මන් සද්දයක් නෑතුව ඉන්නවා.ඉන්න පුලුවන් වෙයිද කියලනම් දන්නෑ ඉතින්.බලමුකෝ.එක්කෝ කලින් හිටියා වගේ ඔයා මගේ ලගින් ඉන්නවනම් මට මෙහෙම දුකක් නෑ අයියේ.. ඒත් හෑමදේම ඔයාගෙ කෑමෑත්තනේ.අනික ඔයාට කරන්න පුලුවන් දේ තමයි මේ ඔයා කරන්නේ කියලා මන් දන්නවා සුදු අයියේ..
කමක් නෑ බලමු හෑදෙන්න බලන්නම් මන්...

Tuesday, May 20, 2014

නිවාඩු දවස් ටිකත් කෝම හරි ඉදලා ඊයේ යන්තන් ඔයාව දෑක්කා.ඒත් ඉතින් මන් ලගම ඉදලත් ඔයා මාව දෑක්කේ නෑනේ.
අදනම් ඉතින් ඔයාව දෑක්කා.හිනාත් උනා.ඉතින් හිතත් පිරුනා.මගේ අයියේ දෙයක් කියන්න තියෙනවා ඔයාට.
දන්නවද ආදරෙයි මන් ගොඩාක්.........

Tuesday, May 13, 2014

ආපහු දකින්න වෙන්නේ ලබන සදුදා.. හ්ම්ම් බලමු මන් කොහොම ඉදීද කියලා මේ දවස ටික

Monday, May 12, 2014

ඊයේ මගේ දින පොත ලියන්න බෑරි උනේ තිබ්බ මහන්සියටමයි.ඒ උනාට ලිව යුතුම දෙයක් උනෙත් ඊයෙම තමයි. :ඪ් අපි ශේක් හෑන්ඩ් කලානේ.ඔයා ළගට එනකොට මම ටිකක් කලබල උනානම් තමයි.හිතාගන්න බෑරි උනා කොහොමද මන් ඒ මොහොතේ ඉන්න ඕන කියලා.නොදන්න දෙන්නෙක්   වගේ අපි යන්තන් හිනාවෙලා ශේක් හෑන්ඩ් කලා.ඊට පස්සේනම් එක එක දේවල් මතක් උනා.හ්ම්ම් දෙයක් වෙන්න තියෙනවනම් ඒ දේ වෙන්නේ ඒ විදිහටමයි.ඉතින් ඊයෙත් වෙන්නතිබ්බේ ඒ විදිහට වෙන්න ඈති.හ්ම්ම් ඒ මොනව උනත් දෙසීයක් තුන්සීයක් විතර කට්ටිය මෑද්දේ මට මතක ඔයා මගේ අතින් අල්ලපු විදිහ විතරයි අයියේ.
මන් ගොඩාක් ආසයි ඊයේ දවසට මොකද මන් ගොඩාක් ආදරෙයි ඔයාට

Saturday, May 10, 2014

අද කෙනෙක් කිව්වා දෙන්නෙක් එක වගේ වෙන්නේ ආත්මීය බෑදීමක් තියෙන නිසාලු.ඉතින් අයියේ අපි දෙන්නත් එක වගේ නේ.ඒ කියන්නේ අපිටත් ආත්මීය බෑදීමක් තියෙනවානේ.ඔයත් ඉතින් ඒක එහෙමයිලුනේ ,ඔයා ගෑන මෙහෙම ආදරේ හිතන නිසා.
හ්ම් අහන්න මගේ අයියේ කවදම හරි අපි එකතු උනොත් අනේ අම්මියෝ මටනම් හිතාගන්න බෑ එදාට මට මොනවා වෙයිද කියලා.. ආදරෙයි අයියේ මන් ගොඩාක්.

Thursday, May 8, 2014

අද ඔයා හිටියේ නෑ පේන්න.බයික් එක තිබ්බෙත් නෑ.හොදින්ද නෑද්ද කීයලා දන්නෙත් නෑ..
කොහේ හිටියත් හොදින් ඉන්න මගේ රත්තරන්...

Wednesday, May 7, 2014

අද අපි දෙන්නගේ ඈස් ගෑටුනා අහම්බෙන් නේද?ඒක ඔයාවත් මාවත් නොහිතපු වෙලාවක උන නිසා අපි දෙන්නටම  හිනා වෙන්නත් අමතක උනා.ඒකනම් හරිම අහම්බයක් අයියේ..මන් ආසයි ඒකට.ආදරෙයි අයියේ මන් ඔයාට.අනේ මන් මේක කවද කොහොම ඔයාගේ ඈස් දෙක බලන් කියන්නද අයියේ..අනේ ඔයා මගේ වෙනවනම්... 

Tuesday, May 6, 2014

තාම හොද නෑ ඔයාගේ කකුල.ඔහොම නොන්ඩි ගහනවා දකින කොට හරි දුකයි මට.වෑඩක්ත් ගොඩයි නේ,නෑත්තන් ටිකක් රෙස්ට් කරන්න හරි තිබ්බා ඔයාට.හ්ම් මට කරන්න දෙයක් නෑනේ අයියේ ඉතින් ඕකට ඔයා අවසර දෙනවනම් එක පාරක් හරි බේත් ටිකක් දාන්න හරි තිබ්බා මගේ පණගේ කකුලට.ඒත් ඉතින් ඒවට මට අවසර නෑනේ :(
හරි අයියේ ඒ මොනවා උනත් හෑමදාම ප්‍රාර්තනා කරනව ඔයාට ඉක්මනට සනීප වෙන්න කියලා මගේ අයියේ...

Monday, May 5, 2014

බලන්න ඉතින් අදත් ඔයා නොන්ඩි ගගහා නේ ආවේ.තාම හොද නෑනේ.ඉතින් මට කියන්න තියෙන්නේ ඉක්මනට සනීප වෙන්න කියලා තමයි රත්තරන්... ඔයාව ඔහොම දකින කොට දුකයි නේ මට...

Friday, May 2, 2014

හ්ම්ම් බයික් එක සද්දයක් දාලනේ ඔයාට.. නොන්ඩි ගගහා ආපු හෑටි දෑක්කම දුක හිතුනා මට.අතත් තුවාල වෙලා.දන්නේ නෑද්ද පරිස්සම් වෙන්න සුදු අයියේ.ඔයිට වඩා දෙයක් උනානම් එහෙම!!පරිස්සම් වෙන්න රත්තරන් මීට පස්සෙවත්.කවුරු හිටියද දන්නේ නෑ ඒ වෙලාවෙ ඔයා ලග ඔයාව බලාගන්න.තාමත් රිදෙනවද දන්නෙත් නෑ.ඔයා ඉතින් මට කියන්නෑනේ මට දුක හිතෙන නිසා.ඒකනම් ඉතින් එහෙම තමයි.ඒත් ඉතින් අයියේ ඔයා කරදරෙන් ඉන්නකොට මන් මොකටද සතුටින් ඉන්නේ?
ලග හිටියනම් ඔයාව බලාගන්න හරි තිබ්බා මට. :(
මොනවා කරන්නද ඉතින්..

අනේ රත්තරන් මීට පස්සේ පරිස්සමෙන් හොදේ! බයික් එකේ යනකොට විතරක් නෙමේ හෑම වෑඩකදිම හොදද!!!

Wednesday, April 30, 2014

මේ දවස් වල මන් මේක ලියන්නෑත්තේ නිදහස් වෙලාවක් හම්බවෙන්නෑති නිසා අයියේ.නෑත්තන් කියන්නනම් දේවල් ගොඩාක් තියෙනවා වෙනදා වගේම ඉතින්.
අදනම් ඔයාව දෑක්කෙම නෑ.ඒත් ඊයේ නම් ඔයා හිටියා.මන් දෑක්කා අපි ලෑබ් එකට එනකොට ඔයා වාඩිවෙලා හිටියේ ලෑබ් එකේ මතකද?
 මේ දවස්වල ඩෙන්ට්ස් පටන් ගත්තනේ.ඔයා සමහර දවස් වලට ඒව බලන්න එන්නෑති උනාම මට හිතෙන්නේ ඒ මන් හින්ද කියලා.අනේ එහෙම නෑ නේද අයියේ.මේ අන්තිම අවුරුද්දේ ඔයා මන් නිසා මේ දේවල් වලට එන්නතුව ඉන්නවනම් අනේ එහෙම කරන්න නම් එපා අයියේ. ඔයා සතුටෙන් ඉන්න ඕන.ඔයත් දන්නව මාත් දන්නව මට ඔයාව ලෑබෙන්නෑ කියලා.ඒවගේම මන් කවදාවත් ඔයාව  බලෙන් ඉල්ලලා එන්නෙත් නෑ කියලා.
ඉතින් අයියේ ඔයා යාලුවොත් එක්ක වෙනදා වගේ ඉන්න.ඔයා දන්නවනේ මට ඔයා දිහා බල බල හිටියත් ඈති කියලා.ඉතින් මට එහෙම ඉන්න දෙන්න.මේ ටික කාලෙකට අයියේ...

Thursday, April 24, 2014

ඊයේ රෑ අපි මෑසේජ් කලේ හරියට ඒ දවස්වල වගේ.ඒකට මන් ගොඩාක් ආසයි.අනේ මන්දා අයියේ මන් ගොඩක් ආදරෙයි ඔයාට.කියන්න දෑනෙනවද ඒක ඔයාට?
අද ඔයාව දෑක්කම මට ලෝබ හිතුනා අයියේ.සුදු ශර්ට් එක ඈන්දම ඔයාට පරාදයි හෑමෝම.අනේ ඔයා මගේ උනා නම්..... යන්න දෙන්නේ නෑ මන් ලගින් එක මොහොතකටවත් ඔයාටම් ආදරේ කර කර ඔයා ලගටම වෙලා ඉන්නවා අයියේ මන්.අනේ මන්දා මේ පිස්සි දෑන් ඔයාගේ වෙලා ඉවරයි.ඔව් ඔයාගෙමයි සුදු අයියේ..

Tuesday, April 22, 2014

ඊයේ මග ඈරියට මගේ ඈස් අද ඔයා මගේ ඉස්සරහම.දන්නවද හෑමදාම ඕක තමයි මට ඕන සුදු අයියේ.මගේ ඉස්සරහ ඉන්නකොට හිතුවද මට කොච්චර සතුටුද කියලා.ඈත්තමයි අයියේ ඔයා හිනා වෙවි ඉන්නකොට මට ඒ දිහා බලන් ඉන්න තියෙනවනම් මට වෙන මුකුත් ඕන නෑ.දෑක්කා ඔයත් මන් දිහා බලනවා.ඒත් ඒ බෑලුවේ ඈයි කියලා හිතන්න මන් යන්නෑ.මොකද එහෙම කළොත් මන් දන්නවා සතුටු වෙලා දුක් වෙලා ආයෙත් මාව අවුල් යාවි.


ඉතින් මතක් කරන්න තව දෙයක් එකතු උනා මට. ගොඩාක් ස්තුති අයියේ.හෙට හොදට ලියන්න එක්සෑම් එකට.ගුඩ් ලක් අයියේ..

Monday, April 21, 2014

මන් දන්නවනේ ඔයාගේ හෑටි.ඒකයි මගේ ඈස් මග අරින්න එපා කියලම කිව්වේ ඉතින්.මොනවා කරන්නද මන් කිව්වට ඔයාට ඉතින් ඈහුනේ නෑනේ.ඒක වෙන්නෑති ඔයා නොදෑක්කා වගේ හිටියේ.. මොනවා උනත් ඉතින් මන් දෑක්කනේ ඔයාව.අම්මියෝ ඒ ඈති මට හොදටම..මගේ සුදු අයියව මන් දෑක්කනේ ගොඩ කාලෙකින්..

Sunday, April 20, 2014

සති දෙකක් ගෙවිලා හෙට මන් ඔයාව ආයෙම දකිනවා.හ්ම්ම් ගොඩාක් ආසයි ඔයාව දකින්න අයියේ.ඔන්න මගේ ඈස් මග අරින්නනම් එපා ඉතින්.ආදරෙයිනේ මන්..

Friday, April 11, 2014

මතක් වෙනව ගොඩක්.ඒත් මන් මොනවා කරන්නද?
වෙලාවකට හිතෙනවා දුර රටක තනියෙම ඉන්න අක්කි ඔයා ගෑන කොච්චර හිතනවද කියලත්.ඒ අක්කිටත් එහෙම ඉන්න හුගක් අමාරු ඈති නේද අයියේ.බයකුත් ඈති ඔයා මෙහෙ තනියම ඉන්නකොට ඔයා අක්කිගෙන් දුර යයි කියලත්.නිකමට හරි අක්කි මන් ගෑන දෑනගත්තොත් ඒ අක්කි හුගාක් දුක් වෙයි.හිතාගන්න පුලුවන් ඒ හෑගීම ගෑන.එහෙම උනොත් ලගට ඈවිත් ඔයා එක්ක කතා කරලා ඔයාගෙන්ම ඒක දෑනගන්න බෑරුව අක්කි ගොඩක් දුක් වෙයි,එයා ගොඩාක් අසරණ වෙයි.අනේ මට ඕන නෑ එහෙම වෙනවා දකින්න.එච්චරටම මගේ හිත පහත් නෑ.

ඒත් මන් ආදරෙයි.ඒක වෙනස් වෙන්නේ නෑ මොනවා උනත්.මගේ ආදරේ අක්කිගේ ආදරේට වඩා හුගාක් ලොකුයි ඒක මන් දන්නවා.මොකද මේ ආදරේ ඈති උනේ ඔයා කියලාවත් ඔයාට ඕන හින්දවත් නෙමේනේ.මේ මගේ ආදරේ.ඔයා මේ ආදරේට ඔයාගේ ආදරේත් එකතු කලොත් මේ ආදරේ නවත්තන්න මේ ලෝකේ කාටවත්ම බෑ අයියේ.මහ ගොඩාක් ආදරේ තියෙනවා මේ පුන්චි හිත පිරිලා යන්නම.ඕන උන වෙලාවක කියන්න ඒ මහ ගොඩම ඔයාගෙමයි,ඔයාටම විතරයි මගේ අයියේ.ඔයාගේ හිත වෙන කෙනෙක්ට අයිති වෙලා තියෙද්දිත් මන් මෙහෙම කතාකරනවට මට සමාවෙන්න අයියේ.

ඔයා ගොඩාක් හොදයි අයියේ.ඔයා මගේ හිත හදන්න කොච්චර හිතුවද?මන් දන්නවා ඒ බෑරි තෑන තමයි ඔයා මට මෑසේජ් කරන එකත් නෑවෑත්තුවේ.එක පාරටම එහෙම උනාම හිත ගොඩාක් රිදුනත් මන් දන්නවා ඔයා එතනත් හිතුවේ මගේ ගෑන කියලා,ඔයාට ඕන උනේ මට හොදක් වෙන්න කියලා.ඈත්තටම මන් හිතුවේ නෑ ඔයා ඒ විදිහට හරි මට ලන් වෙයි කියලා.එහෙම හරි මතක ටිකක් මට ඉතුරු කලාට ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා මන් දන්නෑ අයියේ.එදත් අදත් ඒවගේම හෙටත් මන් ඒ මතක වලට හරිම ආදරෙයි.ඔයා කියවපු බූත හෑම එකක්ම මට ම්තක තියේවි.බෲනො ගෑන,ඔයාගේ ලස්සන රෑවුල ගෑන,රේට රෑට යාලුවො එක්ක සෙට් වෙලා බොන ඒව ගෑන,නිදිමරන්න හොයාගත්තු බෙහෙත ගෑන,ඔයා චන්දේ ඉල්ලන එකගෑන,ගෙදර යන පාන්දර තුනේ බස් එක ගෑන,මාත් එක්ක කොලඹට යන හෑටි ගෑන,අපි බිග් මෑච් බලන්න යන හෑටි ගෑන,ඔයා ලියපු සින්දු ගෑන,ඒ වගේම තමා අක්කි නෑතුව ඔයාට දෑනෙන පාලුව ගෑන මේ හෑමදේම මට ඒ විදිහටම මතකයි අයියේ. ඒ මතක ඈති මගේ මුලු ජීවිතේටම.

ඉතින් මන් බලාගෙන ඉන්නවා.අක්කිට දුකක් දීල ඔයා මගේ ලගට එනකන් නෙමේ.මගේ ආදරේ ඈත්තක් කියලා ඔයාට දෑනෙන දවසක  කාටවත් දුකක් නෑතුව හෑමදේම හොදින් විසදිලා ඔයා මගේ ලගට එනකන්.එතකන් ඔයාට වදයක් වෙන්නේ නෑ මන්.


Monday, April 7, 2014

අපේ ජුනියර්ස්ලට වෙල්කම් එක දුන්නා ගිය සෙනසුරාදා.ඉතින් දෑන් අපිත් සින්නො වෙලා.ඉතින් ගිය අවුරුද්දේ අපේ වෙල්කම් එක දවස මට මතක් උනා.ඒක මගේ ජීවිතේ අමතක කරන්න බෑරිම දවසක්.මොකද එදා තම මන් ඔයාව දෑන ගත්තේ.ඔයාගේ කාර්ඩ් එක එහෙම.අවුරුද්දක් ගෙවුනා.ඔයා වෙන කෙනෙක්ට අයිති කියලා දෑන දෑනම මන් ඔයා ගෑන හිතන්න අරන් අවුරුද්දක් උනා.ඈත්තටම මගේ ආදරේට අවුරුද්දක් වෙලා.
 

ගොඩාක් දේවල් උනා.මගේ ජීවිතේ සතුටුම දවස් වගේම මන් ගොඩාක් දුක් උන දවසුත් ඒ අතර තිබ්බා.හීන ගොඩාක් මෑව්වා.මවලා මවලා ඒ හෑම හීනෙම අක්කි ළගින් තියලා ආයෙම දුක් උනා.එක එක විදිහට හිතලා මගේ හිත හදාගන්න ට්‍රයි කලා.හෑමදේම කලත් දවසින් දවස ඔයාට තියෙන ආදරේ අඩු කරන්න බෑරි උනා.ඒක දවසින් දවස මොහොතින් මොහොත වෑඩි උනා.යන යන හෑම තෑනම ඔයාව හෙව්වා.ඔය මූණ දිහා ඔහේ බලාගෙන ඉන්න ආස කලා.හෑමදාම පොඩි හරි හිනාවක් දකින්න ඕන උනා.ඉතින් මන් ඔයාට ආදරේ කලා.

 

මේ ආදරේ මගේ නොවුනත් අදටත් මට මේ ආදරේ නවත්තන්න කිසි උවමනාවක් නෑ.මට හිනාවෙන්න අඩන්න දුක් වෙන්න මේ හෑමදේටම ඔයාව ඕන.මන් ගෑන හිතලා ඔයා දුක් වෙන්න එපා අයියේ.දුක් උනාත් මේ ආදරේට මන් ආදරේයි.විදවනවා තමයි ඒත් හෑම මොහොතෙම මන් මේ ආදරේ විදිනවා අයියේ.ඔයා එක දෙයක් කරන්න.පුලුවන්නම් විශ්වාස කරන්න මන් ඔයාට ඈත්තටම ආදරේ කරනවා කියන එක විතරක්.ඒ ඈති අයියේ  මට හොදටම.ඔයා හෑමදාම සතුටින් ඉන්න මගේ රත්තරන්.

Thursday, April 3, 2014

කෝ කොහෙද හිටියේ අද?දෑක්කෙ නෑ නිකමටවත්.

Wednesday, April 2, 2014

ඈත ඉදන් අදත් ඔයා දිහා බලන් හිටියා මන්.ලගට ඈවිත් තුරුල් වෙන්න.ඈස් දෙක ලගටම වෙලා ඔයාගෙ ඔය හිනාවෙන ඈස් දිහා බලාගෙන ඉන්න මන් ආස බව ඔයා දන්නවද අයියේ.?ඔයා දන්නවා ඒත් දන්නේ නෑ වගේ ඉන්නවා.ඔව් ඔයා ඉතින් වෙන මොනා කරන්නද..?වෙන කෙනෙක්ගේ වෙලානෙ ඔයා

Tuesday, April 1, 2014

කාලෙකට පස්සේ අද මන් ඈත ඉදන් ඔයා දිහා ගොඩක් වෙලා බලන් හිටියා.හෑමදාම එහෙම තියෙනවනම්.මාත් දකිනවා කියලා දෑක දෑක ඔයා ඉන්නකොට ඔයාගේ මුහුනේ තියෙන්නේ වෙනමම දෙයක්.එවෙලෙට ඉන්නේ ඈත්ත ඔයා නෙමෙ වගේ.ඒත් අද කොච්චර ලස්සනට හිනා වෙවී හිටියද ඔයා.ඈත්තටම ලෝබ හිතුනා මට.. ඔව් අයියේ ආදරේයි මන් ගොඩාක්

Monday, March 31, 2014

කොහොමද අයියේ කාලෙකින් ලියන්න බෑරි උනා. වෙන දෙයක් නිසා නෙමෙ නෙට් යන්න ක්‍රෙඩිට් තිබ්බේ නෑති නිසා.ඩ්දවස් දෙකකට පස්සේ අද ඉතින් ඔයාව දෑක්ක.වෙනදා විදිහටම ඔයා හිටිය මාව දෑක්කද නෑද්ද දෑකලත් නොදෑක්කා වගේ හිටියද දන්නේ නෑ.මොනව උනත් මන්  මගේ සුදු අයියව දෑක්කනේ..ඒ ඈති මට..

Wednesday, March 26, 2014

තුහින ගෙන වෑඩි සීත මදනල
                  කනට කොදුරපු මිහිරි ගීයකි
සදට හිනෑහී අදුර විනිවිද
                   පිපුනු ලස්සන කුමුදු මලකි
සයුර වෙත පිය නගන අටියෙන්
                   ගලා බසිනා නිසල නදියකි
සිතේ රජ වුන සොදුරු සෙනෙහස
                   කාටවත් නොව ඔබට පමණකි

Tuesday, March 25, 2014

නෙතු ඉමෙන් දුර යන්න එපා මගේ ලග ඉන්න
හෑමදාම මොහොතකට හිනා වෙලා හරි යන්න
ඔය මුවේ සිනහවට හේතුවක් මන් වෙන්න
පුලුවන් බව මට දෑනෙන්න


දවස ගානේ මතක ගොඩක් එකතු වෙන්න ඉඩ හරින්න
මතක එක්ක මගේ හීන තවත් ටිකක් පාට වෙන්න
කවදාවත් මට නොලෑබෙන ඔයා එක්ක
ඈය යන විට නොඅඩා ඉන්න

Monday, March 24, 2014

ඊයේ මට මගේ දින පොත ලියන්න බෑරි උනත් ඊයේ තමයි මට මේකේ ලියන්න වටිනම දේ උනේ.ඒ මන් කලින් දෑන ගෙන හිටපු අයියව මට ඊයේ අහම්බෙන් වගේ හම්බ උනා නේ.. සතුටු වෙනවනම් සතුටුවෙන්න තව හේතු ඕන නෑ මට.ඒත් බයයි එහෙම සතුටු වෙලා තවත් දුක් වෙන්න වෙයි කියලා.
මාත් එක්ක තව කවුරු හරි ඉන්නවද කියලා ඈහුවම ඈත්තටම මට දෑනුනේ මන් නිකන් පාවෙනවා වගේ.හෑම ප්‍රශ්නයක්ම ඉවර උනා වගේ අයියේ.ඒත් ඒක එහෙම නෑ කියලා මන් දන්නවා.ඔයාගේ හොද කම නිසයි මගෙන් එහෙම ඈහුවේ කියලත් දන්නවා.ගොඩාක් පින් අයියේ ඔයාට එහෙම ඈහුවට.ඔයත් දන්නවනේ මේ මෑට්ටිට ඒ වචන ටික කොච්චර වටිනවද කියලා.
ආ තව එකක් අද අපි දෙන්නම එකම පාට ඈදගෙන ඈවිත් හිටියේ. මතකද? :D :D

Wednesday, March 19, 2014

කාලෙකට පස්සේ මන් අද හිනා උනා.ඔව් හිතට දෑනෙන්න හිනා උනා.ඒ කාලෙකට පස්සේ ආපු ඔයාගේ රිප්ලයි එක නිසා.තෑන්ක්ස් අයියේ ගොඩක් තෑන්ක්ස්. අද අපේ රිසල්ට්සුත් ආව. එකක්වත් රිපීට් නෑ යන්තන්.
මතකයි මට ඔයා කිව්වා හොද රිසල්ට් එකක් දෑම්මේ නෑත්තන් කතා කරන්නෑ කියල ආයිත්.ඔයා මට මෑසේජ් කරන එක කලින්ම නෑවෑත්තුවේ නෑත්තන් ඔයාට ඉතින් නවත්තන්න වෙන්නේම නෑ. :D
කමක් නෑ ඔයා අද මෑසේජ් කලානේ.ඒ ඈති.
ඔයා ගෑන මන් දන්නවා අයියේ ඒත් ඔයාට තියෙන ආදරේ හින්ද වෙන්නෑති හෑම දෙයක්ම මන් හෙන ලොකුවට හිතන්නේ.. වෑරදියට හිතන්න එපා හොදේ ඒ මගේ හෑටි අයියේ..

Tuesday, March 18, 2014

අනේ මට හරි දුකයි මේ දවස්වල.කාට හරි මේ හෑම දේම කියලා දාන්න හිතෙනවා.තනියම මේ දුක විදින්න අමාරුයි මට.මේ දේ වෙනවා කියලා දෑනගෙන හිටියත් මේ විදිහට වෙයි කියලා හිතුවේ නෑ මන්. ඈත්තටම මන් දුක් උනත් මට ඔයාගෙන් ලබා ගන්න දෙයක් නෑ.මන් දන්නවා කවද හරි ඔයා අක්කි ලගට යනවා කියලා.මන් මේකත් දන්නවා මට ඔය දෙන්නට සුබ පතලා පෑත්තකට වෙන්නත් පුලුවන් කියලා.ඒත් මෙහෙම එක පාරටම මේ දේවල් වෙන එක දරාගන්න බෑ අයියේ.මට ආදරේ කරන්න කියලා මන් ඔයාට කියන්නේ නෑ අයියේ.ඒත් ඔයාට වෙනදා වගේ ඉන්න පුලුවන් නේද මා එක්ක.ඒක මට කියන්න අයියේ..

Monday, March 17, 2014


අද මට කියන්න කිසි දෙයක් නෑ.එක දෙයයි තියෙන්නේ..

අයියේ මන් ඔයාට ගොඩක් ආදරෙයි

Saturday, March 15, 2014

දෑන්නම් නිතරම වාගේ නෙතගින්
        කදුලු එක දෙක වෑටෙනවා
අහිමි අතීතෙක සොදුරු මතක ලෙස
        මොන මොනවද සිහි වෙනවා
සිතන්නවත් හොද නෑති උනත් ඉතින්
        ඔයා ගෑනම හිතෙනවා
හෑරෙන්නෙපා ඔයා යන්න
        මන් මෙතනම ඉන්නවා


හිනාවෙලා ඉන්නකො අනේ
       කියලා මන් කියන්නෑති
ටිකක් කතා කරමුද කියලත්
       නිකමට හරි අහන්නෑති
වදයක් නම් නවතින්නම්
       කියලත් මන් කියන්නෑති
ඒ කිව්වත් ටිකකින් තව
       පොඩ්ඩක් වද දෙන්න ඈති


පුරුදුම නෑ මේ හෑගීම
          හරි නුහුරුයි නේ
ඒ හින්දයි මේ හිත මට
           අවනත නෑත්තේ
තරහවෙන්න එපා ඔන්න
          මන් ගෑන දන්නවනේ
හෑදෙන්න ටික කලක් යාවි
          ඒකට කම් නෑනේ

Friday, March 14, 2014

ඊයේ දෑක්කෙත් නෑ අද දෑක්කෙත් නෑ.. හෙටයි අනිද්දයි දකින්නත් නෑ.. :( මොනවා කරන්නද නේ.. වෙනසක් නෑ ඉතින් නොදෑක්කා උනත් මන් මගේ පාඩුවේ මගේ හීන මවනවනේ ඉතින්.. මේක කියන්න මතක් වෙනවද අයියේ මාව නිකමට හරි ඔයාට?

Thursday, March 13, 2014

අදුරු අහසේ තිබුනමුත් තරු
               නොබෑලුවෙමි පෙරදා
ඔහේ නිදහසේ සෑරිසරන විට මා
               තරු නෙතක් විත් ඉගි කලා
නින්ද නෑති විය එදා සිට මා
               රෑ අහස සෑමදා පීරුවා
කොහේදෝ ඒ තරු දෑස ඈතින් ඉදන්
               මා හා හිනෑහුනා


මගේ තනියට තරුව නුඹ ඈති
              මාත් එන්නද අහසට
කියා සිතුනා අසන්නට මට
              මගේ යෑයි මට සිතුනම
පේනවද අර මදෙස බලමින්
              ඈත දිලෙනා සදවත
දන්නවද සදවත මගේ බව
              ඈසුවා මවෙතින් තරුනෙත


සෙමින් මුවගට නෑගුනු වදන් විත්
              දෙතොල් අතරේ සිර උනේ
දෙනෙත් අගට විත් දෙනෙත් බොද කල
              කදුලු දෙකොපුල් සේදුවේ
සිතින් මෑවුන ඒ සිහින නොදෑනිම
              එකමතම එක බිදිලා ගියේ
මගේ තරු නෙත් මට කලින්
              ඒ සදවතට ඈයි දෝ පෙම් කලේ

Wednesday, March 12, 2014

දන්නවද කාලෙකට පස්සේ මන් ඔයාට අද ගුඩ් මෝර්නින් කිව්වනේ....

Monday, March 10, 2014

අද දවසේ මට එක දෙයක් තේරුනා.ඒ අපිට ඕන වෙලාවට අපිට ඕන විදිහට කිසිම දෙයක් වෙන්නේ නෑ.දෙයක් වෙන්න තියෙනවනම් ඒ දේ වෙනවා.කරන්න තියෙන්නේ ඉවසන එක.අපි හදිස්සි උනා කියලා කිසි දෙයක් අමුතුවෙන් වෙන්නේ නෑ.හොදම දේ තමයි දෙයක් වෙනකන් ඉවසන එක.ඉවසුවොත් හරි වෙලාවක හරි විදිහට හෑමදේම සිද්ද වෙනවා...
මම එහෙම කියන්නේ මන් කොච්චර නම් හිතුවද අද හම්බුනොත් මන් මෙහෙම කියනවා මෙහෙම කරනවා කියලා.ඒත් ඒ හිතපු එක දවසකවත් මට ඔයා එක්ක කතා කරන්න වෙලාවක් හම්බ උනේ නෑ අයියේ.ඒ සමහර දවස් වල ඔයාට කතා කරන්න චාන්ස් හම්බ වෙලත් මට කතා කරගන්න බෑරුව ගිය වෙලාවල් තිබ්බා..ඒත් අද හෑමදාම හිතලා හිතලා වෙන්නේ නෑති පාර අද මට මුකුත් හිතුනෙම නෑ.කතා කරන්න ආස උනාට ප්ලෑන් ඈන්දේ නෑ.
ඒත් මන් හිතපු නෑති වෙලාවක අද ඒ චාන්ස් එක මට හම්බුනා.වෙනදට ඔයාව නවත්ත ගන්න 'අයියේ' කියන වචනේ කියාගන්න බෑරුව හිටිය මන් අද ඔයාට කතා කලා.පුදුමයි මටම පුදුමයි..
කොහෙන් ආපු හයියක්ද දන්නේ නෑ.. එක පාරටම ඔයා තනියෙන් ඉන්නවා දෑක්කා.මන් අයියා එක්ක කතා කරල එන්නම් කියලා මාත් එක්ක හිටපු යාලුවට කියලා මන් ඔයා හිටපු පෑත්තට දුවලා ගිහින් අයියේ කියලා කතා කලා.පුදුමයි තාමත්..
මොනවා උනත් කවුරු මොනවා කිව්වත් මගේ අයියා මන් හිතපු විදිහටම හිනා වෙලා මා එක්ක කතා කලා.මන් දෑනන් හිටියා අයියේ ඔයා වෙනද වගේ හිනා වෙලා මා එක්ක කතා කරනවා කියලා.මොකද මන් දන්න මගේ අයියට බෑ කාගෙවත් හිතක් රිද්දන්න.මන් හරි නේද?ඔයා නිසා මගේ හිත රිදුනට ඒ හිත රිදෙව්වේ ඔයා නෙමේ කියලා මන් දන්නවා සුදු අයියේ.ඒ හිත රිදව ගත්තේ මන්මයි. හරි ඒ මොනවා උනත් ඔයා අද මා එක්ක කතා කරපු විදිහට ගොඩාක් ස්තුති අයියේ.වචන නෑ මට..
ඔයා වගේ හොද හිතක් තියෙන මනුස්සයෙක්ට මන් ආදරේ කරා කියලා මට සතුටු වෙන්න පුලුවන්.ඔයාට ආදරේ කරලා මට වෑරදුනේ නෑ අයියේ.මගේ ආදරේ නිසා ඔයාට වෑරදෙන්න ඕනත් නෑ.සතුටින් ඉන්න අක්කි එක්ක.ඉරිසියාවක් නෑත්තෙමත් නෑ.ඒත් ඉතින් මට වඩා වාසනාවන්ත කෙනෙක්ට ඉරිසියා කරාට ඒ වාසනාව මට ලෑබෙන්නේ නෑනේ.ඔයා වගේ කෙනෙක් ලෑබෙන්න අක්කි ගොඩක් වාසනාවන්තයි අයියේ.ඒ තරම්ම නෑති උනත් ඔයාට ආදරේ හිතුන එකත් වාසනාවක් මටනම්.ඉතින් මේ ආදරෙන් මට බලාපොරොත්තු වෙන්න කිසි දෙයක් නෑ අයියේ.මන් දන්නේ එච්චරයි...

Sunday, March 9, 2014

මතක ටිකක් වද දෙනවා ලගකදි ඉදලා හිතත් ටිකක් ගෑස්සෙනවා දුකකුත් දෑනිලා කවුරු කොහොම කිව්වත් මගේ හිත සනසාලා ඔයා කියපු ඒ කිසිවක් නෑත මතකෙන් ගිලිහීලා
හීන මෑවෙනවා ඒකට තෑනක් කියලා නෑ අද එනකොට බස් එකේදිත් නිකන් ආවේ නෑ ඈස් වෑහුවම මෑවෙන හීනේ වෙන කවුරුත් නෑ කොලඹට ඔයා මාත් එක්ක කවදම හරි ඒවිද දන්නෑ
ලන් වෙන්නටනම් කොහොමත් බෑරි බව දෑනුනත් ඒව ඉතින් එතකොටනේ හිතලා හිනහුනා ගොඩක් ඉතින් ඉතින් ගගා මාත් බූත කියන කොටත් පෙරේදා පෑගුව ඉකිරියගේ කටු ගෑලෙව්වා මතකද දවසක්
පොත අස්සට හිර උනාම ඔලුව හරි බරයි ඔයාව ටිකක් දෑක්කමනම් හිතට හරි සෑපයි විභාගෙටම ඔය කළේ කෙමෙන් පිරුනා මතකයි මෙහේ බොගනකොට කෙට්ටු උනේ බෘනෝ බව්වයි
නෙත් දහසක් මෑද උන්නත් ඔය නෙතු සෙව්වානේ හෑමදාමත් ඔය ඈස් දෙක දෑක දෑක සිත හෑඩුවානේ සාදය මෑද හිටගෙන මතකද දවසක් මොනවද කිව්වානේ ආධුනික උනත් නිවේදකයා වෑඩේ ගානට කලානේ
හන්තාන උනත් අහන් ඉන්න හඩක් තියෙන්නේ ඈත්තට ඔය හඩ අහන්න ආස කලානේ හරිම හොදයි මගේ අයියා මන් දන්නවනේ සීත මාරුතේ වෙලෙමින් එදා කිවුවනේ
ආඩම්බර සෑර අයියෙක් කියලා දන්නවා සෑර මූණට ඔය රෑව්ල නම් නියමෙට යනවා සූර්යගේ මල්ලි වගේ ටිකක් පේනවා පස්සේ කාලේ රෑවුල වවමු එතකොටනම් අෆ්රිඩි පරදිනවා
එක කාලෙක රටේ මිනිස්සු හදන්න ගියාලු ගිහින් හොදට ඈකඩමි ටික අනා ගත්තලු ඒවා තෙරිලා දෑන්නම් ඒවට නෑලු ඒත් ඉතින් කව්දම හරි පොලිටික්ස් කරනවලු
අපි කියවපු බූත ඉතින් ඕව තමයි නේ මන් හිනෑහුනේ හෑමදාමත් මේව හින්ද නේ මන් හිතන්නේ මන් ගෑන ඔයා දන්නවනේ වෙනදා වගේ ඉමුයි තමයි අදත් පතන්නේ

Friday, March 7, 2014

කියන්න කොච්චරක් නම් දේවල් හිතුවද..එ දේවල් කියන්න වෙලාවක් එනකන් කොච්චරක්නම් මග බෑලුවද.. ඒත් අද ඒ චාන්ස් එක අත ලගටම ඈවිත් යන්න ගියා.ඔව් ඔයා ලගින් යනකොට නවත්තන්න විතරයි මට තිබ්බේ..ඒත් එහෙම ඔයාව නවත්ත ගන්න "අයියේ" කියලා කියගන්න  ඒ වචනේ ගලපගන්න මට බෑරි උනා.. අනේ මන්දා ඒ බයටද දුකටද නෑත්තන් ආදරේටද කියලා හිතාගන්න බෑ....
මොනවා උනත් අන්තිමටම උනේ ඔයාට කතා කරන්න තිබ්බ ඒ චාන්ස් එකත් නෑති උන එක.

Thursday, March 6, 2014

අදත් ඔයාව දෑක්කේ නෑ.. කොහේ ගිහින්ද මන්ද.. දන්නවනේ මන් ඔයාව හොයනවා කියලා ඉතින් එන්න තිබ්බනේ ඔය මුණ ටිකක් බලාගන්න මට... ඔයා හිනා වෙනවා බලන්න.(මාත් එක්ක නෙමේ හොදේ ඔයාගේ යාලුවො එක්ක.මොකද මා එක්ක ඔයා හින වෙන්නේ නෑනේ ඉතින්) දවල්නම් ඔයාගේ බයික් එක තිබ්බෙත් නෑ..හවසත් තිබ්බේ නෑ පේන්න.වෙන තෑනක නවත්තලා තිබ්බද දන්නෑ ඉතින්.
මොනවා උනත් ඉතින් ඔයාව අද දෑක්කේනෑ.. දුකයි ඉතින් ඒත් මන් මොනවා කරන්නද නේ.. :(

Tuesday, March 4, 2014

වෙනදා වගේ ඔය ඈස් දිහා බලලා හිනා වෙන්න ආසයි අයියේ.ඒත් බයයි මන් හිනා වෙන්නවත් කියලා හිතන් ඔයා දිහා බෑලුවම ඔයා හිනා නොවෙයි කියලා.ඒකයි මන් ඈත ඉදන් ඈති වෙන්න ඔයා දිහා බලලා ඔයා ලන් වෙනකොට අහක බෑලුවේ.එහෙම කරන එක ලේසි නෑ අයියේ..
මට සමාවෙන්න අයියේ ඔයාව මට ඕන.ඔයාගේ ලගට වෙලා එක තප්පරයක් ඉන්න ඉඩ දෙනවනම්.......

Monday, March 3, 2014

බලා සෑනසෙමි
නෙලා ගනු බෑරි
හන්තාන සිහිනේ......


ලස්සන සින්දුවක් ඔයා ෆේස්බුක් එකේ දාලා තිබ්බේ. ඈත්ත ඒ හීනේ මගේ.නෙලා ගන්න බෑ.බලා සෑනසෙන්න විතරයි තියෙන්නේ.ඒත් සෑනසෙන්නවත් අද ඔයාව දෑක්කේ නෑ..ඔයා ආව කියලා දෑන ගත්තා ඉතින් ඔයාගේ බයික් එකෙන්.ඒත් ඔයා පේන්න හිටියේ නෑ. වෙනදනම් ඔයා පේන්න හිටියේ නෑති උනාම ඒ ඈයි කියලා අහලා මෑසේජ් එකක්වත් දෑම්මා.දෑන් ඒකත් නෑ.දුකයි.ඒත් ඉතින් මන් මොනවා කරන්නද දෙයියනේ..


ඔයාද මෙහෙම වෙනස් උනේ කියලා මට හිතාගන්න බෑ අයියේ තාම.වෙනදා ඔයා කියන පොඩි පොඩි දේවල් වලට මට දුක හිතුන කිව්වම ඔයාටත් දුක හිතුනා.ඒත් අද මන් මෙච්චර දුකින් ඉන්නකොට ඔයා කොහොමද අයියේ මෙහෙම ඉන්නේ.ඔයාට එහෙම ඉන්න බෑ නේද සුදු අයියේ?ඔව් මන් දුකින් අයියේ ඉන්නේ.ඔයාටත් මාත් එක්ක දුක් වෙන්න කියනවා නෙවෙයි මම.ඒත් වෙනදා වගේ මගේ දුක ඔයාට දෑනෙනවද අයියේ..!

Saturday, March 1, 2014

ඈරඹුමත් වෑරදී අවසනත් වෑරදී
මගේ සිත ඈත යමක හිරවී
මුදාගනු බෑ සියොලගම ඈවිලී
කදුලු බිදුවිත් දෑස බොදවී

හන්තාන උරණව මදෙස බලතී
හමන සුළගද ඔච්චමුත් කරතී
නිසල ජලයට ගලක් වෑටුනී
ජලය කෑලඹී ඉවුරු බිදුනී

වෑයෙන තනුවට ගෙතුනු ගීයකි
ගීතයක් වී ඈසුනු සුසුමකි
මිහිරි ලෙස එය වෑයෙන විටදී
අතර මග තත් සිදී ගියෙහී

තත් සිදුනු වීණාව මගේ වී
ඉකි බින්දා පද වෑලත් සිහිවී
සිදුනු තතකින් පලක් නෑති වී
සොදුරු ගීයක් මෙලෙස නවතී

Wednesday, February 26, 2014

ඈස් දෙක ඉස්සරහ ඔයාව පෙනි පෙනි නොදෑක්කා වගේ යන්න වෙයි කියලා හිතුවෙ නෑ මම.ඒත් ඔයා ඉස්සරහා මන් ගොඩක් අසරණ වෙලා අයියේ.ඔයා ඔහොම කතා නොකර ඉන්නකොට මන් බයයි.ඔයාගෙ ඔය හිනාවත් මට නෑති වෙයි කියලා.අක්කා කවදම හරි ආවම ඔය දෙන්නට සුබ පතලා ඈත් වෙන්න බලන් හිටපු මාව මේ විදිහට එක පාරටම ඈත් කරාම ඩුකයි අයියේ මට.ඔයා දන්නේ නෑ මන් විදවනවා.මෙච්චර ඉක්මනට මේ කතාවට අවසානයක් දෙන්න වෙයි කියලා මන් හිතුවේ නෑ අයියේ.ඔයා මෙහෙම කලා කියල මට බෑ අයියේ ඔයාට දෑන් ආදරේ නොකර ඉන්න.ඔව් මන් ආදරෙයි වෙනදටත් වඩා ඔයාට.ඔයාගේ මේ වෙනස මට පෙන්නුවා මන් ඔයාට කොච්චරක් ආදරේ කරනවද කියලා.ඔයා මෙහෙම ඉන්න එකෙන් උන එකම හොද දේ තමයි ඒක.අහන්න මන් ආදරේ කරන්න පටන් අරන් ඔයාටයි ඔයාගේ මේ නිහඩ බවටයි.ඉතින් අයියේ මේ දේවල් වලින් ඔයාට බෑ මන් ඔයාට ආදරේ කරන එක නවත්තන්න.පුලුවන් තරම් කාලයක් මන් තනිවෙනවා මේ ආදරෙත් එක්කම.

Tuesday, February 25, 2014

හිතන්න දේකුත් නෑති
පතන්න දේකුත් නෑති
කතාවක් වත් ගෙතෙන්නේ නෑති
පද වෑලක්වත් පබෑදෙන්නේ නෑති

ඔබත් පතන් නෑති
හිතින් හිතන් නෑති
හීන මෑවෙන් නෑති
වගේ වගක් නෑති

අයිති කෙනෙක් ඈති
ඔබට එයා ඈති
හීන ගොඩක් ඈති
තවත් කෙනෙක් ඈති

ගන්න දෙයක් නෑති
දෙන්න දෙයක් ඈති
ඔබට තේරෙන්නේ නෑති
ආදරය විතරක් ඈති

Monday, February 24, 2014

ගොඩක් ආදරේ අරන් එන්නම් ඔයා ඉන්නවනම්
මටත් මාවම අමතක වෙලා වගේ ඔයා කොහෙදෝ දෑන්
හිනා වෙන්නෑ නපුරු වෙලා ඈයි ඔන්න මට දෑන් දුකයි
මගේ අයියා සෑරයි කියලා මන් දෑනන් ගොඩ කල්


ඔන්න දොස්තර ඔයා මට මේ දෙන්නේ බෙහෙතක් නම්
දන්නවද මේ ලෙඩට ඔය බෙහෙත හරි යන්නෑ
ටිකක් හිනා වෙලා වෙනදා වාගේ ඔයා ඉන්නව නම්
ඒ හොදටෝම ඈති වෙන බෙහෙත් ඕනේම නෑ


Sunday, February 23, 2014

ඔයාව දෑක දෑක ඔයා එක්ක වචනයක්වත් කතාකරන්න බෑරි උනා.ගොඩක් දේවල් කතා කරන්න තියෙනව අහන්න තියෙනවා.ඒත් කවද කොහොමද මන් ඒ දේවල් අහන්නේ.ඔහොම කතානොකර ඉන්නෙ ඈයි කියලා මන් දන්නේ නෑ අයියේ.ඒත් මට දෑනගන්න ඕනත් ඒකයි.ඒ හේතුව කියල ඉන්න.එතකොට අඩුම තරමෙ යන්තන් හරි මගෙ හිත හදාගන්නවත් පුලුවන් අයියේ.කිසිම දේයක් කියන්නෑතුව ඔහොම එක පාරටම ඔයාගේ සද්දේ නෑති උනාම ...හිතන්න මන් පිච්චෙනවා හොදටම.. අනේ අයියේ එක පාරක් මේ වෙනසට හේතුව ඈයි කියලා කියල ඉන්න ...

Wednesday, February 19, 2014

සතුටෙන් ඉන්න වෙලාවට විතරක් නෙමේ ඔයා දුකින් ඉන්නකොටත් මට පුලුවන් ඔයා එක්ක ඉන්න. Exam results නිසා ඔයා අවුලෙන් වෙන්නෑති ඈත්තේ.ඉතින් මන් කතා කරන එක ඔයාට කරදරයක් නම් කමක් නෑ මන් පාඩුවේ ඉන්නම්.ඒත් ඔයාගේ හිතට පොඩි හරි සහනයක් වෙන්න පුලුවන්නම්......
දුකෙන් ඉන්න එපා අයියේ හෑමදේම හරි යාවි..ඊලග පාර හොදට exam එක කරන්න..

Tuesday, February 18, 2014

එක පාරටම මට මේ ඔයාගේ දෑනෙන වෙනස දරාගන්න අමාරුයි අයියේ.අනේ ඔහොම ඉන්න එපා.දුකයි මට.මගේ ඈස් ඉස්සරහ ඔයා තව ටික දවසයි නේ ඉන්නේ අයියේ. අනේ ඒ ගෑන හිතලවත් ඔහොම වෙනස් වෙන්න එපා.මෙ ගෙවෙන දවස් මගේ ජීවිතේ ලස්සනම දවස් ටික කරන්න ඔයාට විතරයි අයියේ පුලුවන්.අනේ මන් ඔයාට කියන්නෑ මට ආදරේ කරන්න කියලා මන් කියන්නේ මට වෙනසක් කරන්න එපා.වෙනද හිටියා වගේ ඉන්න අයියේ.

Monday, February 17, 2014

මේ දවස්වල සමහර වෙලාවට මගේ ඔලුව පෑලෙන්න වගේ යනවා.ඒ ඔයාගේ මෑසේජස් නෑති උනාම.අනේ මන්දා ඒ හෑගීමනම් හරිම අමාරුයි විද ගන්න.කෑගහලා අඩන්න ඕන කම තිබ්බත් කදුලුත් නෑ.දෑන් මෙහෙම නම් ඔයා මාව දාල යන දවසට මට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ සුදු අයියේ.අනේ රත්තරන් ඔයා මා ලග හෑමදාම ඉන්නවනම්......


               නිදිවරා කදුලු කෑට බිද දමමි අද නෙතින්
              හෙට ඔයා යන විටදි හිනෑහෙන්න මුලු හිතින්
              වෑරදිලා හරි එහෙම මට ඉතින් ඈඩුනොතින්
              සමාවී නොබලාම ඔබ යන්න දුර ඉතින්


Saturday, February 15, 2014

නපුරු පාටක්නම් තියෙනවා.ඒත් හිතන තරම් නපුරු නෑ.ඒත් එක දෙයක් දන්නවා.කා ලගවත් නෑති පුදුමාකාර හොද හිතක් තියෙනවා.ඔයා කියන විදිහටනම් මන් තාම පොඩිලු.ඒත් අහන්න ලොකු අයියේ මන් ඔයාට වඩා අවුරුදු තුනයිනේ බාල.මටත් ආදරේ දෑනෙනවා.හිතෙනවා..
වෑරදුනේ ඔයාට ආදරේ කරපු එක.වෙන කෙනෙක්ගේ වෙලා ඉන්න ඔයාට ආදරේ කරන එක.
හෑමදාම ඔයා හිතුවේ මගේ හිත හදන්න. ඒ හෑම මොහොතකදිම ඔයත් ගොඩක් විදවන්න ඈති නේද අයියේ?අනේ ඉතින් මට සමාවෙන්න.

මට ඕන වුනේ හිමින් සෑරේ ඔයාට ආදරේ කරන්න විතරයි.මුලදි මේක ඔයා දෑන ගන්න ඕන කියලා අදහසක් තියා සිතුවිල්ලක්වත් තිබ්බේ නෑ.ඒත් කොහොම හරි ඔයාම මේ ගෑන දෑනගත්තා.ඉතින් බලෙන් ඒක එහෙම නෙමෙයි කියන්න වුවමනාවක් මට තිබ්බේත් නෑ.
මේ පුන්චි කෙල්ල ඔයාට ආදරේ කරන්න ගත්තේ ඔයා වෙන කෙනෙක්ගේ කියලා දෑනගෙන නෙමෙ අයියේ.ඒත් ඔයා වෙන කෙනෙක්ගේ කියලා දෑනගත්තම මේ හෑගීම වෙනස් වෙලා නෑනේ.ඒ අතින් මන් පරාද වෙලා.ඒ දෑන දෑනත් ඔයා ගෑනම හිතුවා.ළන් වෙන්න ඕන නෑ.. මන් දුරින් ඉදන් ආදරේ කරනවා කියල හිතුවා. ඉතින් තාමත් හිතනවා.ඉස්සරහටත් හිතාවි.

මන් ඉතින් ඔයාගේ අක්කි තරම් ලස්සන නෑතුවත් ඈති.ඒත් මාව හොයාගෙනත් කොල්ලො එනවා.එ හින්දා ඉතින් මොකක් හරි ලස්සනක් මගෙත් ඈති කියලා හිතෙනවා.ඒත් මොනවා කරන්නද ඔයා ලස්සන දෑක්කේ වෙන කෙනෙක්ගෙනේ.

කවදාවත් ලෑබෙන්නේ නෑ කියලා මග බලා ගෙන ඉන්නේ ඈයි කියලා මන් දන්නේ නෑ.ඒත් මන් ආසයි ඔයා ගෑන හිතන්න.මහ ගොඩක් ආදරෙ දෙන්න.එපා වෙන දවසක මට එපා වෙද්දෙන්.එතකන් මන් ආදරේ කරනවා අයියේ.තරහ වෙලා නපුරු වෙලා ඉන්න එපා කවදාවත්. ඔයා එක දෙයක් විතරක් කරන්න.මට හිමින් සෑරේ ඔයාට ආදරේ කරන්න ඉඩ දෙන්න..ඒ ඈති හොදටම..

Wednesday, February 12, 2014

කොහොම කියන්නද මන්දා..හිතට මහා අමුත්තක් දෑනෙනවා.. ඈයි කියලා කියන්න දන්නෑ.. ලස්සනට පිලිවෙලක් වෙලා තියෙන ඔය දෙන්නගේ ජීවිත මෑද්දට වෙලා මොකද්ද මන් මේ කරන්නේ..දුකයි ඔයා වෙන කෙනෙක්ගේ කියලා මතක් වෙනකොට.ඒත් මන් මොකද කරන්නේ.අනේ මන්දා මට ඔයාව මුන ගෑහෙන්න ගොඩක් කලින් තමා එයා ඔයාට ලන් වෙලා තියෙන්නේ.ඔය දෙන්නගේ කතාව පටන් ගෙන තියෙන්නේ..ඉතින් උඩින්  පාත් උන මන් කොහොමද එහෙම කතාවක් මෑද්දට එන්නේ.අනේ දෙයියනේ මට තේරෙනවා ඒ හෑමදේම.. ඒත් ඈයි මට ඔයාව අමතක කරන්න හිතෙන්නෑත්තේ.හෑම මොහොතකම ඔයාවමයි මතක් වෙන්නේ..අමතක උන එක දවසක් වත් නෑ..හීන ගොඩක් දකිනවා..ඒත් ඒ හීන මගේ නෙමෙ කියලා දෑනෙනකොට......

කවදාම හරි ඒ අක්කා රට ඉදලා ආවම ඔයාට මාව අමතකම වෙලා යාවි..මගේ හීනත් එක්ක මම තනි වේවි..එහෙම දවසක් එයි කියලා දෑන දෑනත් ඈයි මේ..

මගේ ජීවිතේට කවුරු කොහොම එයිද කියන්න මන් දන්නෑ..ඒත් මන් දන්නෙ මට එහෙම කෙනෙක් එපා කියන එක විතරයි..ඔයා එක්ක ඉන්න ඔයා ලගට වෙලා ජීවිතේම ගෙවන්න ඕන මට වෙන කෙනෙක් එපා..මන් දන්නේ නෑ මේ විදිහට මන් කොච්චර කාලයක් ඉදිද කියලා..ඒත් දෑන් මේ මොහොතේ මට හිතෙන්නේ එහෙමයි..

අයියේ ඔයා ගෑන මේ හිතෙන හෑමදේම අකුරු කරන්න බෑ මට..හිතුවෙ නෑ මන් මෙහෙම කාටවත් ආදරය කරයි කියලා..ඒත් දෑන් මන් ආදරෙයි.. ඔව් අයියේ ඒ ඔයාට..අනේ මට සමාවෙන්න ඒත් දෙයියනේ මට දෑනෙනවා..ගොඩක් අමාරුයි ඔයා ගෑන නොහිතා ඉන්න..

Sunday, February 9, 2014

සිනහව

මිරිගුවක් ලෙස ඔබ ඈත පෙනුනත්
පවස නිවන්නට ඒ දසුන ඈති
මලක් වී ඔබ වෙන උයනක උන්නත්
මලේ සුවද හොදටෝම ඈති
සදක් වී ඔබ දුර අහසේ වුවත්
පොළොව සිඹිනා සද කිරණ ඈති
ඉරිතලා පණ අදින සිතටත්
ඔබේ සිනහව විතරක්ම ඈති

මේ ඔයාට

හිතට ගොඩක් බර වෑඩි නිසා හිතට ගොඩක් දරන්න බෑරි නිසා ඔයාට නොපෙනෙන්න ඕන නිසා මගේ හිත ගෑන මන් මේ බ්ලොග් එකේ ලියනවා.කාටවත් පේන්න නෙමේ හිතුන වෙලාවට ඈවිත් මටම බලලා යන්න.ඉතින් මේ මගේ හිත කවදාවත් නො එන ඔයා වෙනුවෙන් මග බලා ගෙන ඉන්න...